විද්‍යාවෙන් මෙන්ම මිථ්‍යාවෙන්ද බදු අයකළ යුතුය

1210

ලංකාව යනු සිංහල රජ කාලයේත් අධිරාජ්‍යවාදී යුගයේදීත් මිනිසුන් මිරිකා, පාගා, අඹරා බදුගත් රටකි. සිංහල රජ කාලයේදී රජු විසින් පනවන ලද බදු, අය බදු අය කරන්නා විසින් දෙගුණ කොට අයකරගෙන ඉන් එක් ගුණයක් සඟවා සෙස්ස රජුට දෙන ලද්දේය. ඉංග්‍රීසි පාලන කාලය යනු බල්ලාට පමණක් නොව බලු වලිගයටත් බදු ගැසූ යුගයකි. යුරෝපයේ Dark Ages හෙවත් අඳුරු යුගය නමැති රාජ්‍යය පාලන සමයේදී පනවන ලද බදු ක්‍රමයත් ඉන් සෑහෙන කලකට පසු සිංහල රජ කාලයේ අවසන් යුගයේදී පනවන ලද බදු ක්‍රමයත් බොහෝ දුරට එක හා සමාන විය. උදාහරණයක් වශයෙන් අඳුරු යුගයේදී යුරෝපයේ සමහර ගෙවල්වල රෑට පහනක් පත්තු කරන්නේ නම් ඒ සඳහා බද්දක් ගෙවිය යුතු විය. ලංකාවේ අවසන් දේශීය රජවරුන්ගේ සමයෙහි මේ කියන ලාම්පු බද්ද එහෙමම තිබිණ. හැබැයි ඒ බද්ද පනවා තිබුණේ රජවරුන් විසින් නොව ඔහුට ගොට්ට අල්ලන නිලමේවරුන් විසිනි. සෑම රජ කෙනෙක්ම නොම්මර එකේ පගා කාරයෙකි. ඔහු පගා ගත්තේ රට වැසියන්ගෙන් නොව නිලමෙලාගෙන් සහ අධිකාරම්ලාගෙනි. පගා හෙවත් විවිධ තෑගි බෝග දී රජා චූන් කළ තරමට නිලමෙලාට සහ අධිකාරම්ලාට රාජකීය කරුණාව සහ රාජකීය අනුග්‍රහය ලැබිණ. නිලමෙලා සහ අධිකාරම්වරුන් රජුට පගා දීම සඳහා ප්‍රතිපාදන උපයා ගත්තේ සාමාන්‍ය ජනයා මත බොරු බදු පැනවීමෙනි. මෙය සමාන වන්නේ ඩී. අයි. ජී කෙනෙක් විශ්‍රාම යනවිට ඔහුට ගොට්ට ඇල්ලූ එස්. එස්. පී. ලා සහ ඒ. එස්. පී. ලා ඔහුට දීම පිණිස තෑගි එකතු කළ ආකාරයටය. ඩී. අයි. ජී මහත්තයා විශ්‍රාම යන බැවින් ඔහුට තෑග්ගක් දීම සඳහා ලක්ෂ කිහිපයක් අවශ්‍ය බව එස්. එස්. පී. කෙනෙක් හෝ ඒ. එස්. පී. කෙනෙක් පළාතේ ඕ. අයි. සී. ලාට කියයි. ඕ. අයි. සී. ඒ බව සාජන් ලාට හා රාළහාමිලාට කියයි. රාලහාමිලා තමන් දන්නා සියලුම මුදලාලිලාගෙන් මුදල් ලබාගෙන ඉන් ස්වල්පයක් තම වියදමට තබා සෙස්ස ඕ. අයි. සී. ට දෙයි. ඕ. අයි. සී. එම මුදලින් කොටසක් තම වියදමට තබාගෙන සෙස්ස එස්. එස්. පී. ට දෙයි. එස්. එස්. පී. ද එයින් කොටසක් ගසා කා ඉතිරි මුදලින් තෑග්ගක් රැගෙන ඩී. අයි. ජී. ට දෙයි. අන්තිමේදී මේ තෑග්ගට දායක වී ඇත්තේ පොලිසියට කිසිදු සම්බන්ධයක් නැති සාමාන්‍ය මුදලාලිලාය. ලංකාවේ බදු ක්‍රමය දන්නා කාලයේ සිටම ඉතාම අව්‍යක්තය. ඒ නිසා මේ රටේ ජනයා බදු ගෙවීම පැහැර හරින්නට පටන්ගත් අතර ශත වර්ෂ එකහමාරක පමණ ඇවෑමෙන් රටේ ජනගහනයෙන් 90% ක් පමණ බදු ගෙවීම අත්හැර දැමූහ. මේ නිසා බදු ගෙවන 20% ද ආණ්ඩුවට බදු ගෙව්වේ හෙණ ඉල්ලමිනි. අන්තිමේදී ඍජු බදු ගෙවීමේ පුරුද්ද සහමුලින්ම අප වෙතින් නැතිව ගියේය. අප ගෙව්වේ භාණ්ඩ හා සේවා මත පනවන ලද වක්‍ර බදු පමණකි. ඍජු බදු ගෙවීමේ පුරුද්දක් අපට අදටත් නැත. ඒ නිසා කොටුවේ පිහිටි income tax ගොඩනැගිල්ල ඉස්සරහින් යන අපට එය පෙනෙන්නේ යකකු පරිද්දෙනි.

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරි, බැංකු, වාස්තු විද්‍යාඥ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැළෙන පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. මෙයින් හැඟී යන්නේ ඉහත සඳහන් පිරිසෙන් වැඩි කොටසක් දීර්ඝ කාලයක් තිස්සේ බදු මගහැර සිටි බවකි. අප දන්නා පරිදි වාස්තු විද්‍යාඥයන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් අප වෙනුවෙන් කළ වැඩකට කවදාවත් රිසිට් එකක් දෙන්නේ නැත. රිසිට් එකක් ලබා ගැනීමට නම් එය සමාගමක්ම විය යුතුය. සාමාන්‍ය දොස්තර කෙනෙක් ඔහුගේ ඩිස්පැන්සරියෙන් අපට රිසිට් එකක් දෙන්නේම නැත. නීතිඥයා අත දික්කළ විට අපි ඔහුට සල්ලි දෙමු. ඔහු එම සල්ලි සාක්කුවේ දමාගන්නවා පමණි.

ඔහුගෙන් කවදාවත් අපිට රිසිට් එකක් ලැබෙන්නේ නැත. මේ සියලු සාධක වල අවසන් විග්‍රහය වන්නේ ඉහත සඳහන් අය බදු නොගෙවන බවකි. රිසිට් පොත් නැතිව audit එකක් හෙවත් විගණනයක් කළ නොහැක. විගණනයක් නැතිව අය සහ වැය බලා ගැනීමට බැරිය. මේවා බලා නොගෙන බදු ගණනය කළ නොහැකිය. මේ නිසා දොස්තරලාත්, නීතිඥ උදවියත් සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යන බදු ප්‍රතිපත්තියෙන් සෑහෙන මුදලක් භාණ්ඩාගාරය වෙත එකතු කරගැනීමට හැකියාව ආණ්ඩුවට ලැබෙනවා ඇත.

මෙහිදී තවත් වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. යන්තර මන්තර වැඩ කරන කපුවෝද වශී ගුරුකම් කරන වැඩකරන සහ නූල් පන්නන හොර කපුවෝද යනාදිය වශයෙන් කොටස් දෙකක් ලංකාවේ සිටිති. මේ කපුවෝ ස්වකීය දේවාල හරහා මාසිකව රුපියල් කෝටි ගණන් උපයති. එහෙත් ඔවුන් කවදාවත් තඹ සල්ලියක බද්දක් රටට ගෙවන්නේ නැත. මීට අමතරව විශ්ව ශක්තියෙන් ලෙඩ සනීප කරන ප්‍රාතිහාර්යකාරයෝද ඉතා බහුල ලෙස මේ සමාජයේ සිටිති. මෙවැනි එක විශ්වශක්ති කාරයෙක් භූතයෙක් එලවන්නට රුපියල් විසි පන් ලක්ෂයක් අය කරන අවස්ථා තිබේ. අද කාලයේ දකුණෙන් මන්තරකාරයන් ගෙන්වා තොවිලයක් නැටීමට රුපියල් ලක්ෂ ගණනක් අවශ්‍යය. එසේම කිසිම පිළිගත් වෛද්‍ය ක්‍රමයකින් තොරව රාත්‍රී කාලයේදී දෙවියකු හෝ යකකු විසින් තමන්ට සිහිනෙන් කියූ බෙහෙතක් අඹරා එය රුපියල් තිස් හතළිස් දාහකට අලෙවිකර ලෙඩ සුවකරන බව කියන ව්‍යාජ වෛද්‍යවරු ආණ්ඩුවට සත පහක්වත් බදු නොගෙවති. අලුත් බදු ක්‍රමයක් සැකසීමේදී ඉහත සඳහන් සමාජ ස්ථර ගැන ඇගයීමක් කරන ලෙස අපි රජයෙන් ඉල්ලමු. බද්දක් අණ පනතක් සේ ප්‍රකාශයට පත්කළ පසු, එය ක්‍රියාත්මක නොවන්නේ නම් සත පහක වැඩක් නැත. අපේ මේ කතුවැකිය අද කියාදී ඇත්තේ රටේ බදු ආදායම වැඩිකර ගැනීම සඳහා කොටුකර ගතයුතු වෙනස්ම හොර නඩයක් ගැනය.

advertistmentadvertistment
advertistmentadvertistment