ජාතික අභිමානය සහ මුතු රාජාගේ කතාව

589

හිටපු ජනපතිනිය විසින් මුතු රාජා කන්දේ විහාරයට පරිත්‍යාග කළ අතර එයට හේතුව වූයේ නායක හිමියන් විසින් කලක පටන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. තායිලන්තයේ සිට ‘සක් සූරීන්’ නමින් අප රටට පැමිණි මේ හස්තියාට මුතු රාජා යන නම ලැබෙන්නේ කන්දේ විහාරයේ දීය. මුතු රාජා අප රටට පැමිණෙන්නේ පෙරහරේ කරඬුව වඩමාගෙන යෑමට වුව ද, කරන්නට සිදුවන්නේ අනෙකකි. ඒ කතාව මෙසේ ය.

යම් විහාරස්ථානයකට හස්තියකු අවශ්‍ය නම්, ඒ සතා නඩත්තු කිරීමේ හැකියාව ද එකී විහාරස්ථානය තිබිය යුතු ය. එසේ නොමැතිව ලෝකයට පරකාස කිරීමේ අරමුණින් හස්තියකු ළඟ තබාගැනීමේ තේරුමක් නැත. මුතු රාජා ට සිදු වූයේ ද එයමය. “අපටත් ඇතෙක් ඕනෑ” කියමින් කන්දේ විහාරයට මුතු රාජා ලබා ගත්ත ද ඌ රැකබලා ගැනීම සඳහා ඇත්ගොව්වකුට වැටුපක් ගෙවන්නට තරම්වත් එම විහාරස්ථානයට හැකියාවක් නොවූ බව පෙනී යයි. අනෙක එවන් හස්තියකු රැකබලා ගැනීම සඳහා පළපුරුදු, සතුන්ගේ හැඟීම් තේරුම්ගත හැකි ඇත්ගොව්වකු තෝරාගත යුතු ය. නමුත් මේ ඇත්ගොව්වා එවැන්නකු නොවන බව පෙනෙන්නට තිබේ. ඇත්ගොව්වාට වැටුප් ගෙවන්නට නොහැකි නිසා නායක ස්වාමීන් වහන්සේ සිදුකර තිබුණේ අපූරු යෝජනාවකි. ඒ එවැනි හස්තියකු වෙනුවෙන් බුද්ධ පුත්‍රයකු නොකළ යුතු අන්දමේ යෝජනාවකි. ඒ අනුව පෙරහැරේ යෑම වෙනුවට මුතු රාජාට කරන්නට සිදු වූයේ කොට ඇදීම ය. හොඳින් රැකබලා ගන්නැයි යමෙකුට දරුවකු භාරදුන් පසු, ඒ දරුවා එසේ බලාගන්නවා වෙනුවට වහල් සේවයේ යොදා ගත්තා හා සමාන ක්‍රියාවකි. මුතු රාජා ලවා කොට ඇද ගැනීමෙන් ලැබෙන ආදායම ඇත්ගොව්වාට හිමි වන ලෙස නායක ස්වාමීන් වහන්සේ එකඟතාව පළ කොට තිබිණි. කොට අදින හස්තීන් ලවා එවැනි බර වැඩ කරවා ගනිද්දී නොසෑහෙන සේ වදහිංසා පමුණුවන බව බොහෝ තැන්වලින් වාර්තා වී තිබේ. මුතු රාජාට ද මේ වදහිංසා අඩුවක් නොමැතිව ලැබිණි. කුළුගෙඩි පහරවල් නිසා උගේ ඉදිරි පාදයේ සහ පසුපස පාදයේ තුවාල ඇති විය. ඊට අමතරව පසුපස ප්‍රදේශයේ ගෙඩියක් ද හටගෙන තිබිණි. කොට ඇදීම නිසා මෙසේ වදහිංසාවලට ලක් වූ මුතු රාජාට පෙරහැරවල ගමන් කරන්නට සිදු විය. ඌ මහත් අපහසුවකින් සිටින බව මෙවැනි අවස්ථාවල දී ඇතැමුන්ගේ නිරීක්ෂණයට ලක් විය. සත්ත්ව හිමිකම් සංවිධාන ද මෙහි දී නැඟී සිටියහ. මේ අතරින් “රෙයාර් ශ්‍රී ලංකා” පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment