විමල්ට වරෙන්තු – උසාවිය විහිළුවට ගන්න එපා

660

ඉදිරි නඩු දිනයේ උසාවි නාවොත් හැමෝම රිමාන්ඩ්:
නඩුව දිනපතා විභාගයට – මහෙස්ත්‍රාත් කියයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19 දා) වරෙන්තු නිකුත් කළේය.

නඩුව විභාගයට ගැනීමට දින නියම කර ඇති සෑම දිනකම පාහේ සැකකරුවන් කුමන හේතුවක් හෝ දක්වා අධිකරණයට නොපැමිණෙන බවත් එලෙස අධිකරණය විහිළුවට ගැනීමට තම අධිකරණය කිසිවකුට ඉඩ නොදෙන බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සිය සේවාදායකයා අසනීප තත්ත්වයක් නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥ ගාමිණී ඉලංගසිංහ මහතා අධිකරණයට පැවසීය.

ඉදිරි නඩු දිනයේදී සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් සියලු දෙනාම රක්‍ෂිත බන්ධනාගාර ගත කර නඩු විභාගය දිනපතා පැවැත්වීමට නියෝග කරන්නේ යැයි පැවසූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ට අවවාද කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව විරුද්ධත්වය දක්වමින් 2016.02.06 වැනිදා කිසිදු දැනුම් දීමකින් තොරව කොළඹ හැව්ලොක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වීම, තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ කෙසෙල්වත්ත පොලිසිය මගින් එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ පළමුවන සැකකරු ලෙස විමල් වීරවංශ මහතා නම්කර තිබූ අතර හිටපු පාර්ලිමේන්තුවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී රොජර් සෙනවිරත්න, පියසිරි විජේනායක සහ මොහොමඩ් මුසම්මිල් යන පිරිස සෙසු සැකකරුවන් ලෙස නම් කරමින් කුරුඳුවත්ත පොලිසිය එම නඩුව පවරා තිබිණි. එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වීමට අධිකරණය දින නියම කළේය.

සැකකාර වීරකුමාර දිසානායක මහතාද ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වෛi වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment