අම්මයි තාත්තයි පොලිසියේදීම වස බොති – දහතුන් හැවිරිදි දියණිය අතවරයට ලක්වූ ආරංචියෙන්

2851

සිය දහතුන් හැවිරිදි දියණිය අතවරයට ලක්ව ඇති බව සැලවීමෙන් දැඩි කම්පනයටත් ලැජ්ජාවටත් පත්වූ මව්පිය යුවළක් වැලිමඩ පොලිස් ස්ථානය තුළදී පෙරේදා (18 දා) සවස වස පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ වැලිමඩ පදිංචි සිවකුමාර් සහ සරෝජා නමැති අඹුසැමි යුවළකි.

දහතුන් හැවිරිදි දියණියගේ අයහපත් හැසිරීම නිසා මෙම අඹුසැමි යුවළ කලක සිට දැඩි කලකිරීමෙන් ජීවත්වී ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම දැරිය 28 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර මීට දින හයකට පමණ පෙර එම තරුණයා සමඟ එකට ජීවත්වී ඇත.

පසුව මෙම දැරිය වැලිමඩ නගරයේ ඉබාගාතේ ඇවිදිමින් සිටියදී නගරවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය විසින් ඇය සිය භාරයට ගෙන තිබේ.

මෙම දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දැරිය දූෂණයට ලක්ව ඇති බවයි. පසුව පොලිසිය මෙම දැරියගේ මව්පියන් කැඳවා දැරිය ඔවුන්ට භාරදීමට කටයුතු කර තිබේ. දැරිය දූෂණයට ලක්වී ඇති බව මව්පියන් දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේදී ය.

එහිදී දැඩි ලෙස කම්පනයට පත්ව ඇති මව්පියන් පොලිස් ස්ථානය තුළදීම වස පානය කර දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් මෙම අඹුසැමි යුවළ වැලිමඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. දහතුන් හැවිරිදි දැරිය අතවරයට ලක්කළ 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ අධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු, බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment