තබ්බොවෙන් මැරූ මුවන් 3ක් සමග දඩයක්කරුවෙකු අත්අඩංගුවට

58

තබ්බෝව අභය භූමියේ කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයේදී මදු ගසා මරණ ලද මුවන් ජෝඩුවක් හා මද්දකට අසුවූ මුවකු, මුවන් මැරීමට යොදා ගන්නා කම්බි මදු 12 ක් සමග දඩයක්කරුවෙකු 4 දා සවස කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 15ක් පමණ වන පිරිමි සතෙකු සහ අවුරුදු 1 ක් පමණ වයසැති ගැහැනු සතෙකු මෙසේ මියගොස් සිටි බවත්, මීට අමතරව මද්දකට හසුවී ජීවග්‍රහණයෙන් සිටි මාස 8ක් පමණ වයසැති මුව පැටවෙකු (ගැහැනු සතෙකු) ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවත් වනජීවී කාර්යාලය නිලධාරීන් සඳහන් කරයි.

තබ්බෝව කුඩාවැව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරු පුද්ගලයෙකු බවත් මොහු කාලයක සිට වනසතුන් දඩයමේ යෙදී සිටින මහා පරිමාණ දඩයක්කරුවෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරු මීට පෙර අවස්ථාවකදී ද මුව දඩයමකට අදාළ වැටලීමකදී පලාගිය සැකකරුවෙකු බවත්, මොහු මෙසේ මහා පරිමාණයෙන් වනසතුන් දඩයම් කර එම මස් පුත්තලම ප්‍රදේශයට අලෙවි කරන බවට එම විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා ඇතුළු වනජීවී නිලධාරීහු පිරිසක් වැටලීම සිදු කළේය.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment