කහටපිටියේදී මෝටර් රථය ලොරියක ගැටී මෝටර් රථ රියැදුරු මරුට

68

හොරණ පාදුක්ක මාර්ගයේදී පෙරේදා (4) සවස හයයි තිහට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරු මිය ගොස් ඇති බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තිස් නව හැවිරිදි වියේ පසුවන දියගම ගල්පාත ලිපිනය පදිංචි සදුන් රවීන්ද්‍ර ජයසිංහ නමැති ජල ජීවී හා වගා සංවර්ධන අධිකාරියේ සේවය නියුතු අයකු බව පොලිසිය පවසයි.

පාදුක්ක ප්‍රදේශයේ සිට හොරණ දක්වා ධාවනය කර ඇති මෝටර් රථය හොරණ, කහටපිටිය ප්‍රදේශයේදී රියැදුරු විසින් අපරික්ෂාකාරී ලෙස රථ පෙළකට ඉස්සර කර ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක දකුණු මුල්ලේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි මෝටර් රථයේ රියැදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුරින් මෝටර් රථයට ද දැඩි හානි සිදුවී ඇත.

මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එච්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේසිංහ මහතා විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
හොරණ – නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment