බලවත්කමට තීරණය වන මානව හිමිකම්

745

ගාසා තීරයට මාසයක කාලයක් තිස්සේ බෝම්බ ප්‍රහාර දස දහසක් එල්ල කර තිබේ. මේ ප්‍රහාරවල දරුණුකම කොපමණද යත් ඒවා න්‍යෂ්ටික බෝම්බ දෙකක් මගින් ඇතිකරන විනාශයට සමාන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි. මෙය සුළුපටු විනාශයක් නොවන බව නම් පැහැදිලිය. නමුත් ඇමෙරිකාව මෙන්ම බටහිර ලෝකය ගාසා තීරයේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන නම් මාරාන්තික නිහඬතාවක් රකී. 1948 දී එක්සත් ජාතීන් විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නිකුත් කළ අතර, එය සමානාත්මතාව සහ මානව හිමිකම් සඳහා වූ වැදගත්ම ලේඛනය බවට පත්ව ඇත. එහෙත් මෙය ගාසාවට අදාළ වන්නේ නැද්ද? හමාස් ත්‍රස්තවාදීන් විනාශ කිරීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාවට මෙහෙයුම් කිරීමේ අයිතිය ඇති අතර ඒවා සිදු කළ යුත්තේ සාමාන්‍ය ජනයාට සිදුවන හානිය අවම ආකාරයෙනි, නමුත් කෙළින්ම ප්‍රහාර එල්ල වන්නේ රෝහල් තුළටමය. ගාසා තීරයේ, ඇතැම් දරුවන් විසින් තමන්ගේ අත්වල තම නම් ලියා ගෙන සිටිති. එය සිදු කරන්නේ යුද්ධයේදී තුවාල වුවහොත් හෝ මිය ගියහොත් ඔවුන් හඳුනා ගැනීමට ය. මෙය බලවත් ඛේදයක් නොවන්නේද? මධ්‍යම ගාසාවේ උතුරු දෙසට වන්නට සරණාගත කඳවුරු හතරක් ඇත. ජාතන්තර මාධ්‍ය විසින් ඒවායින් දෙකකට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කර කර ගෙන තිබිණි. ඔක්තෝබර් 17 වන දින අල්-බුරෙයිජ් කඳවුර වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිකුත්වුණු සමාජ මාධ්‍ය දර්ශනවල, පුළුල් ප්‍රදේශයක් පුරා පැතිර ඇති සුන්බුන්, ගිනිදැල්, සහ ලෙයින් වැසුණු මළ සිරුරු ඉන් පිටතට රැගෙන යන අයුරු දිස්විය. මෙවන් සිද්ධි එකක් දෙකක් නොව සිය ගණනක් ඇත. නමුත් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමට ඇමෙරිකාව මෙන්ම බෙන්ජමින් නෙතන්යාහුද කැමති නැත. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නිහඬය. ඔවුන් ලංකාවේ යුද අපරාධ සෙවීම ගැන සැමදා උනන්දුය. මුල්ලෙවයික්කාල් ගැන හැමදාම සිහිකරති. නමුත් මේ ප්‍රහාර ගැන ඇස් වසා සිටිති. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා වැලිමඩ උසාවි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ගාසා තීරයේ මතුවී තිබෙන ගැටලුව සම්බන්ධව එක් ආකාරයකටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන වෙනත් ආකාරයකටත් විනිශ්චය කිරීම සාධාරණ නැති බව සඳහන් කර තිබිණි. එය වඩා වැදගත් ප්‍රකාශයකි. ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය එම ක්‍රියාව කඩිනමින් හෙළා දුටු බව සිහිපත් කළ බව ජනාධිපතිවරයා, ත්‍රස්තවාදය හෙළා දකින අතරම පලස්තීන රාජ්‍යත්වය පිළිබඳ මූලධර්මයට ශ්‍රී ලංකාවේ සහයෝගය යළිත් තහවුරු කළ බවත් ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසරේ පෙබරවාරියේ රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කළ විටම ඇමෙරිකාව ප්‍රකාශ කර සිටියේ ජනපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බවයි. එසේම මේ වසරේ මාර්තු මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබිණි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගසාවේ සිදුවන්නේ කුමක්දැයි නොපෙනේනේද? එසේ නැත්නම් ඔවුන් ගසාව ගැන අසා නැද්ද? යුක්‍රේන ගැටුම නිසා යුද අපරාධ සිදුවන්නට ඇත. ඒවා විමසීමට උනන්දු වන්නා සේම ගාසාවට එල්ලවන බෝම්බ ප්‍රහාර නිසා කුඩු වී විනාශ වී යන ජීවිත ගැනත් අවධානය යොමු කිරීම වටී. නිරායුධ ඊශ්‍රායල් හා පලස්තීන ජනතාව ඝාතනය කිරීම සැමවිටම හෙලා දැකිය යුතුය. මානව හිමිකම් සුරැකිය යුත්තේ බලවතුන්ගේ වුවමනා එපාකම් අනුව නම් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment