19න් පහළ ප්‍රමුඛ පෙළ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන 20 සහ 21

175

ප්‍රබල පාසල් කිහිපයක් නැහැ

කණ්ඩායම් 19 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා පාසල් අවුරුදු 19 න් පහළ ප්‍රමුඛ පෙළ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලිය ලබන 20 සහ 21 දිනවල කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

කොළඹ ශාන්ත ජෝශප් විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල, මහනුවර කිංග්ස්වුඩ්, මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර ශාන්ත අන්තෝනි විදුහල මෙවර තරගාවලිය තුළ දක්නට නොමැති වීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති මෙම තරගාවලිය සඳහා එක්ව සිටින පාසල් කොළඹ (12), මහනුවර (04), ගාල්ල (02) සහ කුරුණෑගල (01) දිස්ත්‍රික් නියෝජනය කරති.

කොළඹ ඉසිපතන, බම්බලපිටිය ශාන්ත පීතර, කොටහේන ශාන්ත බෙනඩික්ට්, මොරටුව වේල්ස් කුමාර, කොළඹ ආනන්ද, කොළඹ රාජකීය, කොළඹ කේරි, කොළඹ නාලන්ද, ගල්කිස්ස විද්‍යා, කොළඹ ලුම්බිණි, පාදුක්ක සිරි පියරතන, පිළියන්දල මධ්‍ය මහා, මහනුවර ශ්‍රී සුමංගල, මහනුවර ධර්මරාජ, මහනුවර විද්‍යාර්ථ, කටුගස්තොට ශ්‍රී රාහුල, ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල ශාන්ත ඇලවීෂියස් සහ කුරුණෑගල මලියදේව යන පාසල් මෙම තරගාවලියට එක්ව සිටී.

මෙවර තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ. ඒ, කාණ්ඩ 08 ක් යටතේය. එහිදී ඉහළම ප්‍රසාද ලකුණු සටහන් කර ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුස්සෝ වෙති. අනතුරුව දක්ෂයින් තෝරා ‘කුසලාන’ ශූරතාව, ‘පළඟ’ ශූරතාව, ‘බඳුන’ ශූරතාව මෙන්ම ‘පළිහ’ ශූරතාව ප්‍රදානය වෙනුවෙන් අවසන් තරග පැවැත් වීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති ඉකුත් වර තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි. එකී අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment