මුතුසාමි ශ්‍රී ලංකා ”ඒ” ඉනිමේ කඩුලු 7 ක් බිඳ හෙළයි

958

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලබාගත් ලකුණු 98 ඉනිම සහ අංක 8 පිතිකරු රමේෂ් මෙන්ඩිස් ලබාගත් ලකුණු 78 ඉනිම මතින් සවිමත් වූ ශ්‍රී ලංකා “ඒ” ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකා “ඒ” කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 325ක් රැස් කිරීමට ඊයේ (12 වැනිදා) සමත් වූහ.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව එම තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන සෙනුරන් මුතුසාමි ලකුණු 122 කට කඩුලු 7 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන පිතිකරු ඩිල්ශාන් මධුසංඛ 83 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම මෙන්ම තරගයේ පළමු දිනය නිමාවට පත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා “ඒ” පිතිකරුවෝ අද උදෑසනම දඹුල්ල පිටියේදී පිතිහරඹයට ප්‍රවේශවනු ඇත.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් කෲස්පුල්ලේ සහ ලහිරු උදාර ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහරදීමට පැමිණි අතර ලකුණු 66 ක සාර්ථක සම්බන්ධතාවයකින් පසු ලහිරු උදාර ලකුණු 42 කට දැවී ගියේය.

ඉන්පසුව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 10 කට දවා ගත් මුතුසාමි කමිදු මෙන්ඩිස්ගේ ඉනිමත් ලකුණු 28 කට නිමා කළේය.

අනෙක් ක්‍රීඩකයන් එක් පසෙකින් දැවී යද්දී තම කඩුල්ල ආරක්ෂා කරගෙන ශතකය කරා පියමනිමින් සිටි ආරම්භක පිතිකරු ලසිත්ගේ ඉනිමත් ලකුණු 98 කට අවසන් කිරීමට මුතුසාමි සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ අංක 8 පිතිකරු ලෙස පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 89 කදී ලකුණු 78 ක් වාර්තා කළ කළ අතර රමේෂ්ගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.

ඔහු ද මුතුසාමිගේ ගොදුරක් වූ අතර ලසිත් කෲස්පුල්ලේ ඔහුගේ ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 4 කින් වර්ණවත් කර ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment