එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගන්න පුළුල් විමර්ශනයක්

109

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සඳහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ පසුගියදා තීරණය විය.

ඇමැති රමේෂ් පතිරණ මහතාගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පළමු වරට 20 වැනිදා රැස්වූ අවස්ථාවේ දී ඉදිරි වැඩ කටයුතු පිළිබඳ මූලික කරුණු සාකච්ඡා කිරීම සිදුවිය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩු පැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේ ද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබඳවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති ඇමැති රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශයන් ද මෙම කමිටුව ලබා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවසීය.

තවද කමිටුවේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබා දීමටත් ඊට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමටත් මෙහිදී තීරණය විය.

එසේම විශේෂ කාරක සභාව ලබන 27 වැනිදා අඟහරුවාදා ප.ව. 2.00 ට නැවත රැස්වීමට ද මෙහිදී තීරණය විය.

රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, නිමල් ලන්සා, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටගොඩ සහ මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම රැස්වීමට සහභාගි වූහ. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment