අනුරාධපුර රෝහලේ එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රය මාස 6 ක් තිස්සේ කැඩිලා

157

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රය මාස හයක් තිස්සේ ක්‍රියාවිරහිතව තිබීම නිසා පොරොත්තු ලේඛනයේ රෝගීන් මෙන්ම ප්‍රදේශයේ රෝගීන්ද දැඩි ලෙස අසරණවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සහ රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම පරීක්‍ෂණ බාහිරව සිදුකර ගැනීමට රු. විසිපන්දහසේ සිට හැත්තෑපන්දහස දක්වා මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද එම සංගම් කියයි. එම්.ආර්.අයි. යන්ත්‍රය ක්‍රියා විරහිත වන අවස්ථාවේ පොරොත්තු ලේඛනය 2024 මැයි මාසය දක්වා පිරී තිබිණි. ඉන් පසුව පැමිණි රෝගීන්ට පරීක්‍ෂණ සඳහා දින ලබා දීමද රෝහල් මගින් නවතා දමා ඇතැයි එම සංගම් පවසයි.

එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණ මගින් ස්නායු පද්ධතියේ තිබෙන රෝග හඳුනා ගැනීම, කොඳුඇට පෙළ ආශ්‍රීතව ස්නායු පද්ධතියේ රෝග හඳුනා ගැනීම, පිළිකා රෝග හඳුනා ගැනීම, අග්න්‍යාශය ආශ්‍රීත රෝග, හෘදයට රුධිරය සැපයුම සහ එහි තිබෙන බාධා හඳුනා ගැනීම මෙන්ම සන්ධි ආශ්‍රිතව මාංශ පේශීවල ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම වැනි විශේෂ කාර්යයන් සිදුකෙරේ. පරීක්‍ෂණ බිඳ වැටීමෙන් රෝගීන්ගේ එම රෝගී තත්ත්වයන් උත්සන්න වී බරපතළ විය හැකි බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛi හරිත අලුත්ගේ මහතා පවසයි.

එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු පිළිබඳව ගිවිසුම්ගතව සිටියද එම කටයුතු ප්‍රමාද වීම පිළිබඳව සොයා බැලීමට සහ ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට පියවර නොගෙන රෝගීන් පරීක්‍ෂණ සඳහා පෞද්ගලික ආයතනවලට යොමු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියා සිටී.

මේ වන විට රජයේ රෝහල් සතුව එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 13 ක් ඇති අතර ඇතැම් රෝහල්වල එම සේවා බිඳ වැටීම නිසා වසර ගණන් ඇදී ගිය පොරොත්තු ලේඛණ පවතී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment