ශ්‍රී ලාංකේය දේශපාලනයේ පෙරළිකාර චරිතයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

109

අභාවප්‍රාප්ත රොනී ද මැල්ගේ දේහයට ජනපතිගෙන් අවසන් බුහුමන්

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ අභාවප්‍රාප්ත හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොල්ලුපිටිය, චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි නිවසට (28 දා) පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සංවේගය පළ කළේය. අනතුරුව තොරතුරු විමසමින් පවුලේ ඥාතීන් සමග කෙටි කථා බහකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේහය අසළ තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතෙහි සටහනක් ද තැබීය. අවසන් කටයුතු අද සවස 4.00ට රුහුණු විශ්වවිද්‍යාල පිටියේදී සිදුකෙරේ.

රොනී ද මැල් මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ පෙරළිකාර චරිතයක් මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු ලෙසද හඳුන්වා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොනී ද මැල් මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ශෝක පණිවුඩය මෙසේය.

1977 වසරේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු බලය ලබා ගන්නා අවස්ථාවේ මෙරට ක්‍රියාත්මකව පැවතියේ සංවෘත ආර්ථිකයකි. අඩාලව පැවති ආර්ථික හා සමාජයීය සංවර්ධනය යළි කඩිනමින් ප්‍රකෘතිමත් කරලීම උදෙසා නව ආර්ථික සැලසුම් සැකසීමේ වගකීම පැවරුණේ මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාටය.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මග පෙන්වීම මත රොනී ද මැල් මහතා ඒ දුෂ්කර අභියෝගයට මුහුණ දුන්නේය. දහසක් විවේචන මධ්‍යයේ ඒ නව ගමනට මග සකසා දුන්නේය.

නිදහස් ආර්ථිකයට එදා එරෙහි වූ සියලු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් අද නිදහස් ආර්ථිකයෙන් තොර ඉදිරි ගමනක් නැති බව පිළිගෙන ඇත.

1977 සිට අඛණ්ඩව අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කර වාර්තාවක් ද තබමින් රොනී ද මැල් මහතා විශිෂ්ට ආර්ථික විහේෂඥයකු ලෙස හඳුන්වාදීම යුක්ති යුක්ත වනුයේ ඒ නිසාය.

රොනී ද මැල් මහතා ලංකා සිවිල් සේවයේ කීර්තිමක් නිලධාරියෙකි. අමාත්‍යාංශ ගණනාවක ඉහළ තනතුරු හොබවමින් ඉටුකළ විශිෂ්ට මෙහෙවර ද ප්‍රශංසනීයය.

ලාංකේය දේශපාලනයේ පෙරළිකාර චරිතයක් වූ රොනී ද මැල් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සාමාජිකයන් හා ඥාති හිතමිත්‍රාදීන් වෙත මාගේත්, මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් සංවේගය පළ කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment