තේරීම් කමිටුව නිල වශයෙන් එළිදකී

310

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (13 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය.

වසර දෙකක කාලයක් සඳහා ජාතික කණ්ඩායම තේරීමේ වගකීම ඔවුන් වෙත පැවරෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

පස්දෙනකුගෙන් යුත් එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස තරංග පරණවිතාන, ඉන්දික ද සේරම්, අජන්ත මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා කටයුතු කරති.

ඒ සමගම ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුතු හිටපු තේරීම් කමිටුව අහෝසි වී ඇත.

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් සඳහා සුදුස්සන් නම් කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ සඳහා නම් 10 ක් ඉදිරිපත් කර තිබුණි.

එම නම් 10 අතරින් නම් 7 ක් ජාතික තේරීම් කමිටුව විසින් අනුමත කරනු ලැබීමෙන් පසුව ඔවුන් 7 දෙනා අතරින් හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉහත 5 දෙනා තෝරා ගෙන ඇත.

ඒ අනුව අදාළ සාමාජිකයන් පස්දෙනා පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමෙන් අනතුරුව ඊයේ ඒ පිළිබඳව නිල නිවේදනය නිකුත් කර ඇත.

එම තේරීම් කමිටුවේ පළමු නිල කාර්යය වනුයේ 2024 සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික සංචිතය තෝරා ගැනීමයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment