ගාසා තීරයේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 500ක් මියයති

306

ගාසා තීරයට අයත් ‘අල් අහ්ලි’ රෝහලට පෙරේදා (17 දා) රාත්‍රියේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හා සරණාගතයන් වශයෙන් රැකවරණය ලබමින් සිටි 500 දෙනකු හෝ එයට වැඩි පිරිසක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලදැයි හමාස් අන්තවාදීන් විසින් චෝදනා කර ඇති අතර ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳව විමර්ශනය කළ ඊශ්‍රායල් හමුදාවන් විසින් වාර්තා කර ඇත්තේ පලස්තීනයේ සිටින දෙවැනි විශාලතම අන්තවාදී කණ්ඩායම වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් ඉලක්කය වැරැදීමෙන් අල් අහ්ලි රෝහලට යොමු වීමෙන් මෙම ව්‍යසනය සිදුව ඇති බවයි. කෙසේ වුවද තමන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් අල් අහ්ලි රෝහලට, එල්ල වූ බවට කෙරෙන, චෝදනා ජිහාඩ් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ගාසා තීරයේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 500ක් මියයති

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය යෑමේ සිද්ධියෙන් අරාබි රටවල් කැළඹීමට පත්ව තිබෙන අතර මෙම ප්‍රහාරයත් සමගම ඊයේ (18) දිනයේ ඊශ්‍රායලයේ හා ජෝර්දානයේ සංචාරයක යෙදීමට නියමිතව සිටි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග ජෝර්දානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා අවලංගු කිරීමට පලස්තීනය ඇතුළු අරාබි රටවල නායකයන් පියවර ගෙන තිබේ.

මේ අතර ප්‍රහාරයට ලක් වූ අල් අහ්ලි රෝහලේ බොහෝ අංශ ප්‍රහාරයත් සමගම ගිනි ගත් බවත් රෝහලේ සිවිලිමේ කොටසක් කඩා වැටුණු බවත් රෝහලේ සේවය කරන එංගලන්ත ජාතික ශල්‍ය වෛද්‍යවරයකු බීබීසී පුවත් සේවයට පවසා තිබේ. ප්‍රහාරයෙන් කැඩී ගිය රෝහලේ ජනෙල් වීදුරුවල කැබලි දස අත විසිරී ගොස් තිබූ බවත් රෝහලේ රැකවරණය ලබමින් සිටි සරණාගත පිරිස් කොරිඩෝවට රැගෙන ගිය, බවත් වෛද්‍යවරයා, වැඩිදුරටත් පවසා තිබේ.

ගාසා තීරයේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 500ක් මියයති

මේ අතර ගාසා තීරයේ රෝහලට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඊශ්‍රායල් හමුදා විසින් ම බව පවසන හමාස් සංවිධානය මෙය යුද අපරාධයක් බවත් සමූල ඝාතනයක් බවත් පවසමින් ජාත්‍යන්තර ප්‍රජාව මෙයට එරෙහිව ක්‍රියා කළ යුතු බව පවසා තිබේ.

මෙ අතර ගාසා තීරයේ රෝහලකට, එල්ල වූ ප්‍රහාරයෙන් කුපිත වූ පලස්තීනයට අයත් බටහිර ඉවුරේ (වෙස්ට් බෑන්ක්) සිටින පලස්තීන ජාතිකයන් විශාල පිරිසක් එම ප්‍රහාරයට, එරෙහිව පෙරේදා රාත්‍රියේ විරෝධතා පවත්වමින් පලස්තීන ජනාධිපති මෙහ්මුඩ් අබ්බාස්ට සිය විරෝධය පළ කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාකරුවන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මේ හා සමාන විරෝධතාවන් ලෙබනනයේ බීරුට් අගනුවර මෙන්ම ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරයේ ද, තුර්කිය, ජෝර්දානය, ඉරානය, ලිබියාව යන රටවල ද පෙරේදා රාත්‍රියේ පවත්වා තිබේ.

මේ අතර ගාසා තීරයේ යුද උණුසුම මැද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව තිබූ අතර ඔහු එහි පැමිණි පසු ගාසා තීරයේ දියත් කිරීමට ඊශ්‍රායල් හමුදාවන් විසින් සැලසුම් කර ඇති දැවැන්ත ප්‍රහාරයේ සැලසුම් පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග මෙන්ම ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ඊශ්‍රායලයට එරෙහිව දකුණු ලෙබනනයේ සිට, හිස්බුල්ලා සංවිධානයෙන් එල්ල වන රොකට් හා මිසයිල ප්‍රහාරයන් හේතුවෙන් ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු රජය ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment