පොලිස්පති ඉවත් කරන්න ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය වැරදී නැහැ – ජනපතිගේ තීරණයත් වැරදි නෑ – කතානායක කියයි

1797

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය කිසිසේත් වැරදි නැතැයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. දෙවතාවක්ම සේවා දිගු ලබා සිටි පොලිස්පතිවරයාට තවත් සති තුනක සේවාවක් ලබාදී තිබියදී ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා ඉවත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව ද ඒ මහතා කීය.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත් විධායක ජනාධිපතිවරයා යළි ඔහුට සේවා දිගුවක් ලබාදීම ද වැරදි නැතැයි ද කතානායකවරයා පැහැදිලි කළේය.

පොලිස්පතිවරයා විශ්‍රාම ගිය පසු ජනාධිපතිවරයා සතු බලතල මත ඔහුට දෙවතාවක් සේවා දිගු ලබාදී එම කාලය ද අවසන් වන්නේ නම් ඊළඟ පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නම් කර එවිය යුතුය.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහුට තව සේවා දිගුවක් ලබාදීමට බලතල තිබෙන බව ඒ මොහොතේත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අටදෙනා හොඳහැටි අවබෝධ කරගෙන සිටි බව ද කතානායකවරයා අප කළ විමසීමේදී කියා සිටියේය. ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන ඇතැම් පත්වීම් ජනාධිපතිවරුන් පත් නොකළ අවස්ථා ද තිබෙන බව ද ඒ මහතා තවදුරටත් පැහැදිලි කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment