19 න් පහළ රග්බි තරගාවලිය රාජකීය විදුහලට රාජකීය ජයක්

199

අවුරුදු 19 න් පහළ පාසල් ප්‍රමුඛ පෙළ ඩයලොග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කොළඹ රාජකීය විදුහල, කොළඹ සහිරා විදුහල, ත්‍රිත්ව විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඊයේ (25) සවස මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැති ත්‍රිත්ව විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර තරගයෙන් ලකුණු 10 ක ජයග්‍රහණයක මිහිර අත්විඳීමට ත්‍රිත්ව පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගයේ දී විද්‍යාර්ථ විදුහල ලත් ලකුණු 10 ට එරෙහිව ලකුණු 20 ක් සටහන් කර ගනිමින් අදාළ ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ත්‍රිත්ව විදුහලට හැකියාව ලැබිණි.

පසුගිය වර ලීග් ශූරතාව තහවුරු කර ගෙන සිටින ඉසිපතන විදුහල මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් දෙවන තරගය ද අපරාජිතව අවසන් කර ගැනීමට සමත් වීම ඒ අතරේ කැපී පෙනිණි.

එමෙන්ම, ඉකුත් වසරේ දෙවන පෙළ අවසන් තරගයට වරම් ලබමින් ප්‍රමුඛ පෙළ අංශය ට උසස් වීම් ලැබූ ඩී. එස්. සේනානායක විදුහල සහ සහිරා විදුහල තමන් මුහුණ දුන් පළමු තරගයම ජය ගැනීමට සමත් වීම විශේෂත්වයක් ඉසිලීය.

මෙම සතියේ තරග ආශ්‍රිතව විශාලතම ජයග්‍රහණය සනාථ කර ගැනීමට රාජකීය විදුහලට හැකි විය. ඒ විද්‍යා විදුහල එරෙහිව ලකුණු 35 ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමිනි. ජයග්‍රාහී රාජකීය පිල ගෝල් දිනුම් 05 ක් සහ උත්සාහක දිනුම් 02 ක් මගින් තම ලකුණු එකතුව සටහන් කර ගත්තේය. ශාන්ත තෝමස් විදුහල ට එරෙහිව ලකුණු 09 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ඉසිපතන විදුහල ට හැකි විය.

ගෝල් දිනුම් 03 ක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහර 02 ක් මගින් ඉසිපතන ලකුණු එකතුව සටහන් කළ අතර පරාජිත පිලට වාර්තා කර ගත හැකි වූයේ ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් පමණි. ඒ අතරේ ඩී.එස්. සේනානායක විදුහල ලකුණු 04 ක ජයක් ලැබීය. ඒ ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිවය. ධර්මරාජ විදුහල ට එරෙහිව සහිරා විදුහල ද වෙස්ලි විදුහල ට එරෙහිව ශාන්ත ජෝශප් විදුහල ද ලකුණු 03 ක ජයග්‍රහණයක ට හිමිකම් කීය.

තරග ප්‍රතිඵල

★ කොළඹ ඉසිපතන 29
ගල්කිස්ස ශාන්ත තෝමස් 20

★ කොළඹ ඩී. එස්.සේනානායක 23
මහනුවර ශාන්ත අන්තෝනි 19

★ කොළඹ රාජකීය 45
ගල්කිස්ස විද්‍යා 10

★ කොළඹ සහිරා 18
මහනුවර ධර්මරාජ 15

★ කොළඹ ශාන්ත ජෝශප් 03
කොළඹ වෙස්ලි 00

★ ත්‍රිත්ව විදුහල 20
විද්‍යාර්ථ විදුහල ලකුණු 10

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment