නාදගම නැතිව පාළුයි
මේ ගීතය මට විශේෂයි

හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නළවන්න ඔබෙ හද තොටිල්ලේ

මේ කාංචනා අනුරාධිගේ නැවුම්ම හඬයි. ටිකක් වෙනස් ආරක්. වෙනස්ම සංගීත ශෛලියක්. පද රචනාව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නයන් විසිනි. ඇත්තටම කාංචනා කාටද මේ මං ආදරෙයි මගෙ රත්තරං කියන්නේ. ඉතිං ඇයට මෙවර මීවිතෙන් ඉඩක් වෙන්කළා ඒ ගැන කියන්න.

කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගෙ රත්තරං…

කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගේ රත්තරන්?

ඇත්තටම කාංචනා මේ කතාව කාටද කියන්නේ?

ඇත්තටම මේ කතාව කියන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට තමයි. මොකද අපි හරිම ආසයි ආදරයෙන් කවුරු හරි වචනයක් හරි කියනවාට. ඒක අම්මාට හෝ තාත්තාට එහෙමත් නැතිනම් තමන්ගේ සහකාරියට හෝ සහකාරියට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සුරතල් සතෙකුට වෙන්න පුළුවන්. මේ ලෝකයේ හැමෝටම ආදරය අවශ්‍යයි. ඉතිං ඒ හැම කෙනෙකුම බලාගෙන ඉන්නවා තමන්ට කවුරු හරි ආදරෙයි කියනකම්. ඉතිං ඒ කතාව මේ ගීතයෙන් කියැවෙන්නේ. ඇත්තටම මේක ගීතයකට වඩා හැඟීම් ප්‍රකාශනයක් විදිහටත් ගන්න පුළුවන්.

පද රචනාව ආරක්ෂක ලේකම්තුමාගේ නේද?

ආරක්ෂක ලේකම්තුමා එක්ක කරන තුන්වැනි ගීතය තමයි මේ. මීට කලින් මාවතේ අපි එන්න” ලොවීනා කියන ගීත දෙක පද රචනාව සිදුකළෙත් එතුමාමයි.

මෙහි ගී තනුව ඔබම නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

ඒක අහම්බයෙන් සිද්ධවුණ දෙයක්. මොකද මම ගොඩක් වෙලාවට ගී තනුව නිර්මාණය කරලා තමයි ඒකට අනුව පද රචනාව සිදුකරගන්නේ. මෙතැනදී සිද්ධවුණේ පද රචනාව මගේ අතට ලැබෙනකොටම පොඩි වෙලාවක් ඇතුළත මගේ ඔළුවට තනුව ගලාගෙන ආවා. ඒ ගී තනුව මටත් ගොඩක් තදින් දැනුන හින්දා ඒක පටිගත කරගත්තා. අනික මේ ගීතය මට විශේෂයි. පළමු වතාවට තමයි මම පද රචනාවකට තනුවක් නිර්මාණය කරන්නේ. ඒ වගේම මේක ගීතයකට වඩා හැඟීම් ප්‍රකාශනයක් කියලත් කියන්න පුළුවන්. මොකද කෙනෙකුගේ හිතේ ආදරය හින්දා උපදින ඉතාම සියුම් සිතුවිලි ටිකක් එක දිගට එක පෙළට ප්‍රකාශ කිරීමක් තමයි මේ ගීතයෙන් සිද්ධවෙන්නේ.

මේ වෙනකොට ගීතයට ලැබෙන්නෙ මොනවගේ ප්‍රතිචාරද?

ඉතාම හොඳ ප්‍රතිචාර රැසක් ලැබෙනවා. යූ ටියුබ් එකෙත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිත් තියෙනවා. ගොඩක් සතුටුයි මේ ගීතය ගැන. මොකද මේක ගොඩක් සංයමයෙන් අහන්න පුළුවන් ගීතයක්. මේ වගේ කාලෙක මේ වගේ සංගීත ආමන්ත්‍රණයක් රසිකයෝ වැළඳගනීවි කියලා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද දවසින් දවස අලුත් වෙනවා. එක එක ට්‍රෙන්ඩ්ස් හැදෙනවා. ඒකත් එක්ක මේ වගේ ගීතයක් අහන්න රසිකයන්ටත් ලොකු සංයමයක් තියෙන්න ඕනෑ. සංගීතය ලහිරු ඩී. කොස්තා අයියා තමයි සිදුකළේ.

රූප රචනාව වෙනස්ම විදිහට නිර්මාණය කරලා තියෙනවා?

රූප රචනාව නිර්මාණය කළේ සහන් වික්‍රමආරච්චි අයියා. මේ වීඩියෝ එක විශේෂයි. මේ ගීතයේ රූප රචනාව පුරාවට ඉන්නේ මම විතරයි. ඒකෙන් අපි සංකේතාත්මක කරන්නේ එක පුද්ගලයෙකුට ආදරය හින්දා උපදින සියුම් සිතුවිලි ටිකයි. තමන් තනිවෙන වෙලාවක තමන්ගේ හිතට එන ආදරය සම්බන්ධ සියුම් සිතුවිලි ටික තනිවම විඳගන්න ආකරය තමයි මේ රූප රචනාවෙන් කියැවෙන්නේ.

මේ ගීතයේ ඔබේ ගායන ශෛලිය ගැනත් කතා නොකරම බැහැ?

මම මෑතකදී නිකුත් කරපු ගීත එක්ක බලද්දී ඊට හාත්පසින්ම වෙනස්ම වූ ගායන ශෛලියක් තමයි මේ ගීතයේ තියෙන්නේ. මම පෞද්ගලිකව ගොඩක් ප්‍රියකරන ගායන ශෛලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙතැනදී විශේෂත්වය වෙන්නේ ශාස්ත්‍රීය පසුබිමකටත් වඩා මේකෙදී අපේ මානව හැඟීම් තමයි අකුරක් අකුරක් ගාණේ උපදවන්න තමයි මම උත්සාහ කරලා තියෙන්නේ. ඒකටම ආවේණික ශෛලියක් මටත් ඇහෙනවා. ඒ බව මගේ රසික රසිකාවියන් ඔවුන්ගේ මැසේජස් වගේම කමෙන්ට්වලින් ප්‍රකාශ කරලා තිබුණා.

කියනු මැන තුරුලට අරන් මං ආදරෙයි මගෙ රත්තරං…

පහුගිය කාලේ නාදගම අවසන් කළා කියලත් ආරංචියි?

නාදගම අවසන් කළේ නැහැ. පොඩි විවේකයක් අරගෙන තමයි ඉන්නේ.

ඉස්සරහට නාදගමට මොකද වෙන්නේ?

ඒ ගැන දැනට මොකුත්ම නොකියාම ඉන්නම්.

කොහොමද ප්‍රසංග වේදිකාවල වැඩකටයුතු?

ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. ඒවාට මටත් ආරාධනා ලැබෙනවා. දැන් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ප්‍රසංගවලට සහභාගි වෙන හින්දා සීමාවක් ඇතුළේ ඉඳගෙන තමයි ප්‍රසංගවලට සහභාගි වෙන්නේ. මොකද කාලය කළමනාකරණය කරගන්න අමාරු නිසා. නමුත් මම සිකුරාදා” සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ද දිගටම ප්‍රසංගවලට සහභාගි වෙනවා. අප්‍රේල් මාසයේ ගොඩක් දුරට ප්‍රසංගවලට තියෙන ඉල්ලුම වැඩිවේවි. ඒ කාලේ මම ගොඩක් දුරට ප්‍රසංගවල පෙනෙන්න නැතිවේවි. මොකද මගේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අවසාන ක්‍ෂේත්‍රයේ විභාග පැවැත්වෙනවා. ඉතිං ඒකත් එක්ක අප්‍රේල් මැයි කියන්නේ මට තනිකරම විභාග වෙනුවෙන් මූලිකත්වය දෙන්න වෙන කාලයක්. ඒ හින්දා ප්‍රසංග කටයුතු ඒ වෙනකොට කරන්න ම නැතිවෙන මට්ටමට ඇවිත් තියෙන්නේ. මොකද විභාගයට හොඳින් මුහුණදෙන්න ඕනෑ හින්දා.

ළඟදී විදෙස් සංචාර එහෙම තිබෙනවද?

විදෙස් සංචාර සඳහා ගොඩක් ආරාධනා ලැබුණත් මේ වසරේ මැයි ජූනි වෙනකම් විදෙස් සංචාර කිසිවක් භාරගත්තේ නැහැ. විභාගයෙන් පසුව භාතිය සන්තුෂ් එක්ක ඉතාලියේ ප්‍රසංගයක් සඳහා සහභාගිවීමට නියමිතයි.

පසුගිය කාලය පුරාවට සම්මාන උළෙලවලදී ඔබව ඇගයීමට ලක්වුණා?

පසුගිය කාලයේ මෝස්ට් පොපියුලර් සෝන්ග් ඔෆ් ද ඉයර් සම්මාන ලැබුණා ආලේ මල් ගීතයට. ඒ වගේම තවත් සම්මාන උළෙලකදී මෝස්ට් වීව්ස් සෝන්ස් ඔෆ් ද ඉයර් සම්මානය හිමිවුණා නාදෙන් ගීතයට. ඒ වගේම ගිය වසරේ වගේම මේ වසරේත් වසරේ ජනප්‍රියම කාන්තාවට හිමි සම්මානයටත් නිර්දේශවෙලා සිටිනවා. ඉතිං ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණ පිළිබඳව. මොකද මට දැන් හම්බවෙලා තියෙන සම්මාන සියල්ලම ජනතාවගේ ආදරය ගෞරවය හින්දා හම්බවුණ සම්මාන. ඒ සම්මාන ලබන්න මම ගොඩක් භාග්‍යවන්ත වෙන්න ඇති කියලා හිතනවා. මට ලැබුණ ලොකුම සම්මානය තමයි ජනතාවගේ ආදරය ගෞරවය. ඉතිං ඒ සම්මානය හින්දයි අනෙකුත් සම්මානත් හිමිවෙන්නේ.

සංගීත දිවියේ මේ තරම් දිගු ගමනක් එන්න පුළුවන් කියලා එදා ඔබට හිතුණද?

ඇත්තටම නැහැ. මගේ සංගීත ගමන පටන් ගන්නේ 2014 වසරේ ඉඳලා. ඒ කියන්නේ මගේ පාසල් කාලයේ. දැන් 2024 වසර. ඒ කියන්නේ අවුරුදු අටක් නවයක් විතර ගෙවෙනවා. ඉතිං මම එදා ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර දිගු ගමනක් එන්න පුළුවන් වේවි කියලා.

ආරක්ෂක ලේකම්තුමා මේ ගීතය ගායනා කළහම මොකද කිව්වේ?

ඇත්තටම ආරක්ෂක ලේකම්තුමා පද රචකයෙක් විදිහට එතුමා අතින් ලියැවෙන ආදරණීයම වචන ටිකක් තමයි මං ආදරෙයි කියන ගීතය. මම මේ ගීතය ගායනා කළාට පස්සේ එතුමා ගොඩක් සතුටු වුණා. හැම අකුරකටම නව අරුතක් දීලා තියෙනවා කියලා එතුමා මට පැවසුවා.

නාදගමට විරාමයක් ලබාදීම ගැන දුකක් හිතෙන්නේ නැද්ද ?

ටිකක් පාළුයි. නාදගම කියන්නේ අපේ කට්ටියටම ගොඩක් සමීප කොන්සර්ට් එකක්. ඒක අපේ ජීවිත එක්ක ගොඩක් බද්ධවෙලා තියෙනවා. මොකද 2019 දී පවත්වපු පළමුවැනිම නාදගමෙත් මම හිටියා. එදා වාදක කණ්ඩායම හිටියට කටයුතු කළේ සරිත් සුරිත් ඇන්ඩ් ද නිව්ස් සංගීත කණ්ඩායම. ඉතිං 2019 ඉඳලා අදවෙනකොට ඒ ආපු දුරත් එක්ක මතකයන් ගොඩක් තියෙනවා.

නාදගමට පුදුමාකාර ආදරයක් තමයි රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ. ඉස්සරහට බලමු.

ඔබේ සංගීත ගමනට ගෙදරින් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද ?

ඇත්තටම ඒ සහයෝගය ගැන කියන්න මට වචන නැහැ. අම්මයි තාත්තයි මට එකම හෙවණැල්ලක් වගේ. අදටත් එහෙමයි. ඒ ශක්තිය හින්දයි කිසිම ප්‍රශ්නයක් නැතිව මේ ගමන මේ විදිහට ඇවිත් තියෙන්නේ. ඒ වගේම මගේ අක්කත් මේ ගමනට ලොකු අත්වැලක් වුණා. මගේ කිරිඅම්මත් ලොකු ශක්තියක්. මේ ගමනේදී සියලුම මානසික සැනසීම ඔවුන් නිසා තමයි ලැබෙන්නේ. ඒකත් එක්ක ඉතිං කරන්න බැරි දෙයක් නැතිතරම්.

ඔබේ ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

ගොඩක් සතුටුයි. පොඩි කාලේ ඉඳලාම හැමදේම සාර්ථක කරගන්න පුළුවන් වුණා. දෙමාපියන්ගෙන්ද පවුලෙන්ද ඒ වගේම එතැනින් එහාට ගියාට පස්සේ රසික රසිකාවියන්ගෙන්ද ගොඩාක් ආදරය ලැබුණා. ඉතිං ඒ ආදරයම මගේ ජීවිතය ගොඩාක් ලස්සන කරලා තියෙනවා. ඒක මට ලොකු සැනසීමක් වෙලා තියෙනවා. ඉතිං මගේ ජීවිතය ගැන හැරිලා බලද්දී මුලින්ම පෙනෙන්නේ ඒ ටික. එතැනින් එහාට ගියාට පස්සේ සෑහෙන දුෂ්කරකම් තිබුණා. හැබැයි ඒ කිසිම දුෂ්කරකමක් මගේ අම්මා තාත්තා මට දැනෙන්න දුන්නේ නැහැ. ඒකටත් මම වාසනාවන්ත වුණා කියලයි හිතෙන්නේ. මාව ඒ තරම් ආදරෙන් රැකගත්තු මගේ අම්මා තාත්තාව මට ගොඩක් ආදරයෙන් බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ හීන හැබෑ කරන්න ඇත්තටම පුළුවන්වෙලා තියෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment