විභාගය ජයගන්න සෙත් කවි කියවන්න

539

කවිය යනුවෙන් සඳහන් කළ විට එක්වරම සිතට නැඟෙන්නේ හුදෙක් රසාස්වාදය පිණිස කරන පද පෙළ ගැස්මක් ලෙසිනි. ‘වාක්‍යම් රසාත්මකම් කාව්‍යම්’ යනුවෙන් කවිය හඳුන්වා ඇත්තේ ඒ නිසාය. එහෙත් සෙත් කවිය එම රසාස්වාදයේ ගණයට නොවැටෙන යම් අයෙකුට සෙතක් ශාන්තියක් ප්‍රාර්ථනා කරන, ඉෂ්ට අරමුණක් ගොනු කරගත් පද්‍යායකි. සෙත් කවිය හැඳින්වීමට ‘ඉෂ්ට කවිය’ යනුවෙන් භාවිතා කරන්නේද එබැවිනි.

මෙරට ජන ජීවිත හා බැඳී පවතින සෙත් කවිය වූ කලී ගුප්ත ශාස්ත්‍රයක්ද, කලාවක්ද, විද්‍යාාවක්ද ලෙස හඳුන්වා දිය හැකිය. ශබ්ද රසය ඉස්මතු කරවන මන්ත්‍ර ශාස්ත්‍ර ආදිය හා බැඳුනු විට මෙය ගුප්ත ශාස්ත්‍රයකි. එහෙත් මන්ත්‍රයකින් කිසි විටක අපලකරුගේ නාමය නොකියවෙන අතර යහපත බලාපොරොත්තු වන අය ගැන නාමික සඳහන් කිරීමක් නොකරයි. එහෙත් සෙත් කවිය ලියන්නේම පෙර නිමි අක්‍ෂර බන්ධනයක් හා නාමයක් මුල්කරගෙන වීම විශේෂත්වයකි. මෙහි ඇති ශබ්ද ධ්වනිත වන ආකාරය, එළි සම ආදිය නිසා කලාත්මක නිර්මාණයක් වුවද සෙත් කවිය යනු එයින් ඔබ්බට ගිය විද්‍යාාවක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ. ශබ්ද විද්‍යාාව මෙහිලා මූලික කර ගැනෙන්නේ මේ නිසාමය.

මෙම සෙත් කවි තැනීමේ විද්‍යාාව නැතහොත් මෙම සාම්ප්‍රදායික ශාස්ත්‍රය පරපුරෙන් පරපුරට පැවැත එන්නකි. මහේෂවරයා විසින් නිර්මාණය කරන ලද චන්දස් ආදි අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද, සුරගුරුද, ශක්‍ර දේවේන්ද්‍රයා, අනන්ත නා රජුද, ඉන්පසුව ඔවුන්ගෙන් පිංගුලාචාරයවරයාද හදාරා ජනතාවට දායාද කර ඇත. ඉන්පසුව අගස්ති මුනිවරයා සෙත් කවියේ ගණ අට සහ, කාව්‍ය දෝෂ ගැනත් විශේෂ අලංකාරික හා සුභ අසුභ විස්තරද ගෙන දක්වා ඇති බව ආචාර මතයයි. අගස්ති මුනිවරයා විසින් හඳුන්වාදුන් ගණ අට ජනතාවගේ පැවැත්මට බලපාන ජීව බලවේගයක් බව අවධාරණය කර ඇති ආකාරය පැරණි පොත්පත්වල සඳහන්ය.

සෙත් කවි රචකයකු කාව්‍ය ශාස්ත්‍රයේ අනුගමනය කරන මූලික රීතින් මෙන්ම ශබ්ද ශාස්ත්‍රයද, ජ්‍යොතිෂ ශාස්ත්‍රයද මැනවින් දත යුතුය. ඒ අනුව චන්දස් මාත්‍රා, අක්‍ෂර, ඉෂ්ට ගණ, එළි සම, අලංකාර ආදිය සුදුසු පරිදි යෙදීමටද, ජන්ම පත්‍ර පරීක්‍ෂාවෙන් අභිදායකයාට අපල කරන ග්‍රහයන් හා අනෙකුත් කාරණා හඳුනා ගැනීම කළ යුතුය. නැකැත් බලය, යෝනි බලය, පංචපක්‍ෂි බලය, අක්‍ෂර බලය, ගණ බලය යන ශක්තීන් ගොනු වන ආකාරයෙන් කවි පද බැඳීමේ හැකියාවද සෙත් කවි රචකයා සතුවිය යුතුය. එබැවින් සෙත් කවියෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකි වන්නේ කාව්‍ය ශාස්ත්‍රය, ශබ්ද ශාස්ත්‍රය හා ජ්‍යොතිෂ ශාස්ත්‍රය සමග බැඳුනු සෘෂි උපදේශයන් ඒ අයුරින්ම අනුගමනය කිරීමෙන් පමණි.

සෙත් කවි රචනයේදී පුර-අව, ලඝු-ගුරු, විරුද්ධ ගණ, සතුරු යෝනි, සතුරු අක්‍ෂර නොසැලකීමත් අසම්බන්ධ, විරුද්ධාර්ථ, පුනරුත්, සංකා, අපක්‍රම, ශබ්ද, හීන, යති බ්‍රෂ්ඨ, භින්නාදි ශාස්ත්‍ර විරෝධී තත්ත්වයන් ඇති නොවන්නට වග බලා ගැනීමත් රචකයාගේ වගකීම වේ.

ශාස්ත්‍රානුකූලව ප්‍රාණ පිහිටුවා කළ සෙත් කවියේ බලයත්, ඵලයත් ප්‍රශස්ථ වේ. පහසුවෙන් තේරුම්ගත හැකි සරල බස් වහර යොදා දෙවියන්ගේ ගුණ සමුදාය සමග ඉෂ්ටාර්ථය ඉතා හොඳින් අභිදායකයාගේ සිතෙහි නිරවුල්ව කා වැදීමෙන් ඇති වන පිවිතුරු හැඟීම අපේක්‍ෂිත ප්‍රතිඵලය වඩාත් තහවුරු කරනු ඇත.

මෙහිදී සෙත්කවි රචකයා චරිතය අපිරිසිදු වූ කුහක ගති ඇති අයකු නොවිය යුතු සේම අනුන්ගේ සැපත දැක සතුටු වන අයෙක් විය යුතුය. එමෙන්ම රචකයා පිහිට පතන අය, සෙත් කවිය කියවන අයද, දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති ධාර්මික අය විය යුතුය. සෙත් කවිය කියවීම ආරම්භ කළ යුත්තේ පුර පක්‍ෂයේ උදය වරුවේ නියමිත නැකතකට අනුවය. ආරම්භ කරන දිනය හෝ අවසාන දිනයේ නැත්නම් දින දෙකේම පළතුරු පූජාවක් තැබීම සිදුකළ යුතුය. එම කාලයේදීවත් නිර්මාංශව සිටීම ඉතාම සුබදායක වේ.

විවිධ කාරණාවලට සෙත් කවි කියවීම සිදුකරන අතර අපල උපද්‍රවවලින් ආරක්‍ෂාව, රෝග පීඩාවලින් මිදීම, විවාහ සාර්ථක කර ගැනීම, දරු ඵල අපේක්‍ෂාවන් සාර්ථක කර ගැනීම, රැකියා ලාභ හා උසස්වීම් හා සම්මුඛ පරීක්‍ෂණවලින් ජය, විභාග ජයග්‍රහණ ඉන් ප්‍රමුඛ වේ.

මෙකී කාරණා සම්බන්ධයෙන් සෙත් කවි ලියා ගැනීමට කල්පනා කරන අයද යම් සහයෝගයක් සෙත් කවි රචකයන්ට ලබාදිය යුතුයි. එසේ නොවී කඩිනමින් සිදුකරන සෙත් කවි රචනය තුළින් ප්‍රශස්ථ මට්ටමේ සෙත් කවියක් නිර්මාණය නොවීමට පුළුවන. මේ පිළිබඳව පුළුල් අවබෝධයක් නැති ඇතැම් වංචනික පුද්ගලයන් සකස් කර ඇති සෙත් කවියකට පැමිණෙන අයගෙන් අභිදායකයාගේ නම පමණක් අසා දැනගෙන හිස්තැන පුරවා ලබාදෙන අවස්ථා අද එමටය. එයින් කියවෙන්නේ වස් කවියක් මිස සෙත් කවියක් නොවන බව සඳහන් කළ යුතු වේ. එමෙන්ම එය රචනා කරන අයට අසුභ බව සඳහන් කළ යුතුය.

ශාස්ත්‍රානුකූලව සෙත් කිවියක් ලිවීම සඳහා කාලයක් අවශ්‍ය වේ. එනම් ඒ තරමටම සෙත් කවියක් ලියන විට සලකා බැලිය යුතු කරුණු කාරණා රාශියකි. එබැවින් එය භාරදූර කටයුත්තක් බව සියල්ලන්ම අවබෝධ කරගත යුතුයි.

වර්තමානයේ බොහෝ දෙනා තුළ ඇති අවිවේකී බව නිසා සෙත් කවියක් ලියා ගන්නට පැමිණෙන්නේ අවසාන අවස්ථාවේදීය. උදාහරණ ලෙස යම් විභාගයකට පෙනී සිටීමට සිටින අයෙකුට සෙත් කවියක් ලියා ගැනීමට විභාගයට දින 10 ක් 12 ක් තබා පැමිණීම නොකළ යුතුයි. එනම් වැඩිදුරටත් සඳහන් කළොත් පෙබ. මාසයේ විභාගයට පෙනී සිටින දරුවකුට සෙත් කිවයක් කියන දෙමාපියන් එම සෙත් කවිය කීම ආරම්භ කළ යුත්තේ අවම වශයෙන් නොවැ. මාසයේ පුර ආරම්භයත් සමගය. එවිට දරුවා විභාගයට මුහුණ දෙන විට පුර පක්‍ෂ 3 ක් සෙත් කවිය කියන්නට එම දෙමාපියන්ට හැකියාව හා කාලය තිබේ. එයින් ලැබිය හැකි ප්‍රතිඵල ප්‍රශස්ථය. සාමාන්‍යයෙන් ශබ්ද තරංග මාස 3 ක කාලයක් විශ්වයේ ක්‍රියාත්මක වෙමින් එයින් සෙත සලසන බව ශාස්ත්‍රීය මතය වේ. මේ අයුරින් මෙකී ශාස්ත්‍රයෙන් උපරිම ප්‍රතිඵල ළඟා කර ගැනීමට සෙත් කවි රචකයා, කියවන තැනැත්තා, හා අභිදායකයා යන පාර්ශ්ව තුනෙහිම දායකත්වය අවශ්‍ය බව මෙහිලා සඳහන් කළ යුතුය.

යම් යම් බලපෑම් මත ශ්‍රී ලංකා ධරණිතලයෙන් ඈත් වෙමින් පවත්නා මෙවැනි වටිනා ශාස්ත්‍ර ධර්ම ආරක්‍ෂා කර ගැනීමත් ඒවා ප්‍රගුණ කිරීමත්, වර්තමාන පරපුර විසින් කළ යුතුය. එයින් සෙත සැලසෙන්නේ සුළු පිරිසකට නොව විශාල පිරිසකට බව අප නිතරම කල්පනා කළ යුතුය.

කොළඹ ජිනරතන කාර්මික විද්‍යාාලයේ ජ්‍යොතිෂ පාඨමාලවේ උපදේශක, සෙත් කවි රචක, ජ්‍යොතිෂවේදී
ජානක මල්ලිකාරච්චි
071-8309862.

advertistmentadvertistment
advertistmentadvertistment