රදම්පල ඝාතකයා හමුදාවෙන් පැන්න කොමාන්ඩෝ සෙබළෙක්

152

ගිනි අවිය-ජීව උණ්ඩ සහ මැගසිනය කැලෑවකින් හමුවෙයි

දික්වැල්ල රදම්පොල ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යුද හමුදා කොමාන්ඩෝ බළකායෙන් පලාගිය සැරයන්වරයකු ඇතුළු කල්ලියක් විසින් බව හෙළිකර ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය එම ඝාතනය සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනය කැලෑවක සඟවා තිබියදී ඊයේ (17 දා) සොයාගෙන ඇත.

මෙම සැකකාර කොමාන්ඩෝ බළකායේ හිටපු සැරයන්වරයා සිය සොහොයුරා ඇතුළු පිරිසක් එක්ව දික්වැල්ලේ මිනිස් ඝාතනය කර ඇති අතර මේ වනවිට මොහු ප්‍රදේශය අතහැර පලාගොස් තිබේ.

සැකකරු වසර 11 ක් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සේවය කර ඇති දක්ෂ වෙඩික්කරුවෙකි.

තවත් අපරාධයක් සම්බන්ධයෙන් කාලයක් බන්ධනාගාර ගත කර සිට ඇති මෙම සැකකරු ඇප මත මුදාහැරීමෙන් පසු දික්වැල්ලට පැමිණ දින කීපයක් තුළදී මෙම ඝාතනය සිදුකර ඇත.

ඉකුත් 15 වැනිදා රාත්‍රී 7.30 ට පමණ දික්වැල්ල ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සැක පහළ කරන්නේ මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතකයාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දකුණු පළාතේ මිනිස් ඝාතන මර්දනය කිරීම සඳහා පිහිටවනු ලැබූ විශේෂ කණ්ඩායම විසින් සිදුකළ විමර්ශනයකදී මෙම ටී 56 අවිය සහ ව්‍යාපාරිකයා සොයා ගැනීමට හැකිවිය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට ඒකකයේ අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා, සහකාර පොලිස් අධිකාරි ඒ. පී. සම්පත් කුමාර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් තංගල්ල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩී. සී. එල්. මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම විමර්ශනය සිදු කළහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment