හදපු ‘හාල’ක් නෑ! හැබැයි එක් කෝටි තිස්නව ලක්ෂයක් ඕවර් ටයිම් ගෙවලා…

206

ආණ්ඩුවේ තැනක අමුතුම ගැහිල්ලක්!

මෙරට රාජ්‍ය සංස්ථාවලින් අති බහුතරයක් රජයට මෙන්ම රට්ටුන්ටද බරකි. රජයේ මූල්‍ය අනුග්‍රහය නොමැතිව බොහෝ රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. අප මේ කියන්නට යන්නේ ද එවැනි රාජ්‍ය සංස්ථාවක් ගැනය. එකී රාජ්‍ය සංස්ථාව වූ කලි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවයි. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් හිඟුරක්ගොඩ හා පන්නේගමුව සහල් සැකසීමේ සංකීර්ණවල 2021 වර්ෂයේ දි කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකොට නොතිබුණි. එහෙත් සේවක වැටුප්, අතිකාල දිමනා ඇතුළු සේවක පිරිවැය සඳහා රුපියල් එක්කෝටි තිස්නවලක්ෂ දෙදහස්හාරසිය හතළිස් දෙකක (13,902,442) වියදමක් දරා තිබුණි. මෙම තොරතුරු අනාවරණය වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකට අනුවය. මෙකී සහල් සැකසීමේ සංකීර්ණ දෙක දැනට වසර 18කට ආසන්න කාලයක සිට ඌන උපයෝජිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී සහල් සංකීර්ණ දෙකෙහිම පැයකට සහල් කිලෝග්‍රැම් 2000ක් බැගින් සැකසීමේ ධාරිතාවයක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද 2021 වර්ෂයේ සේවකයින් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක් යොදවා තිබුණි. එමෙන්ම මෙකී සහල් සැකසීමේ සංකීර්ණ දෙකට අනුබද්ධ ගබඩා 04ක් නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සංස්ථාවේ දේපල ආදායම් ඉපයීම සඳහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මෙහිදි සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සීමාසහිත වූ අතර එම වී තොග සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරිමට කටයුතු කර ඇති බවය. එම කාලය තුළ සතොස වෙත ලබාගත හැකිව තිබූ සීමිත වී තොග ප්‍රමාණය පමණක් ඇඹරීම සිදුකළ බවය. ගොවීන්ගේ ප්‍රධාන වශයෙන් තෙත සහිත වී නිෂ්පාදන වන බැවින් එම වී තොග මිලදි ගෙන ඇඹරීම සඳහා මාස කිහිපයක් ගබඩාගතව පවත්වා ගැනීමට අවශ්‍ය වී වියළීමේ පහසුකම සතොස සතුව නොමැති බවද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මෙකී සහල් සැකසීමේ සංකීර්ණයට අනුයුක්ත සේවකයින් සහල් සැකසීමේ කටයුතු සඳහා පුහුණු සේවකයින් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවිමට නොහැකි බවත් ගබඩා නිෂ්කාර්යව පැවතියත් එකී ගබඩා නඩත්තු සහල් සැකසීමේ යන්ත්‍ර පවිත්‍රකිරීම, භුමිය ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා එම සේවකයින් යොදාගනු ලබන බවය.

එමෙන්ම 2021 වර්ෂයේ සංස්ථාවේ ක්‍රියාකාරි සැලැස්ම අනුව මුල්‍ය කාර්යසාධනය ඉහළ නැංවීමට හා පාරිභෝගික තෘප්තිය වැඩිකිරීම සඳහා සහල්මෝල්වල ධාරිතාවය පැයකට සහල් මෙටි්‍රක් ටොන් 2 සිට 2.5 දක්වා වැඩිකිරීම තුළින් සහල් නිෂ්පාදනය ඉහළ දැමීමට සැලසුම්කොට තිබුණි. එහෙත් 2021 වර්ෂයේ කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකිරීමට සංස්ථාවට හැකිවූයේ නැත. මේ සම්බන්ධයෙන් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ හා නිර්දේශ යටතේ සහල් මෝල්වල ධාරිතාවය හා ගුණාත්මක තත්ත්වය වැඩිකිරිම සඳහා මෙකී ව්‍යාපෘතිය ආරම්භ කළ බවය. මෙකී ව්‍යාපෘතියෙන් 2020 වර්ෂය තුළ රුපියල් මිලියන 3.2ක ලාභයක් වාර්තාකොට තිබුණි. කෙසේවුවද 2021 වර්ෂය තුළ අවශ්‍ය වී තොග සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත සපයා ගැනිමට නොහැකි විය. රජයේ මැදිහත්විම මත සෘජුවම වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් පමණක් සිදුකරනු ලැබීය. මෙකී තත්ත්වය තුළ සංස්ථාවට වී තොග නොලැබිම හේතුවෙන් 2021 වර්ෂය තුළ වී කෙටුම් ප්‍රවේශයන් අපේක්ෂිත මට්ටමට ළඟාකරගැනීමට නොහැකි වූ බව සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට තිබුණි. ඒ විතරක් නොව සංස්ථාව විසින් 2021 වර්ෂය තුළ මුං ඇට, කව්පි, ගම්මිරිස් හා කරවල දේශීය වශයෙන් මිලදි ගෙන බෙදාහැරීම තුළින් මාසිකව ලාභ ප්‍රතිශතය වැඩකරගැනීමට සැලසුම්කොට තිබුණි. එහෙත් ආනයන සීමා පැනවීම හා රසායනික පොහොර තහනම් කිරීම නිසා මෙකී ව්‍යාපෘතිය අසාර්ථක වී තිබුණි.

එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව වෙත ලැබිය යුතු බදු කුලි ලෙස දක්වා තිබූ රුපියල් අටකෝටි අසූලක්ෂ හැත්තැඑක්දහස් හැත්තැඑකක මුදලක් (88,071,071) අයකරගැනීමට සංස්ථාව කටයුතු කර නොතිබුණි. සංස්ථාවට අයවිය යුතු මෙකී බදු මුදල අයකරගැනීම සඳහා කමිටුවක් පත්කොට ඇති බැව් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. ඒ විතරක් නොව දිගු කාලයක් තිස්සේ පවතින හිඟ බදු මුදලක් සම්බන්ධයෙන් මූලාශ්‍ර සොයාගැනීමට පවා සංස්ථාවට නොහැකිවී ඇත. හිඟ බදු මුදල් අයවිය යුතු ආයතන වෙත කඩිනමින් හිඟ බදු මුදල් ගෙවන ලෙස දැනටමත් ලිඛිතව දැනුම්දි ඇති බවද සංස්ථාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලංකා සතොස සමාගමෙන් කෝටි දෙසිය දහයකට වඩා වැඩි මුදලක් අයවීමට ඇත. (2,108,027,028) මෙකී මුදල් ලැබීමට ඇත්තේ ආනයනික සහල් හා දේශීය සහල් අලෙවිකිරීම වෙනුවෙනි. මෙකි මුදල ගෙවීම සඳහා ලංකා සතොස සමාගම විසින් සැලැස්මක් යෝජනාකොට ඇති බව සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට තිබුණි. ඒ විතරක් නොව වී අලෙවි මණ්ඩලයෙන් සංස්ථාවට අයවිය යුතු මුදල නවකෝටි, හතලිස්ලක්ෂ, පනස්නවදහස් තුන්සියතිස්අටකි (94,059,338). කෙසේ වුවද සංස්ථාව විසින්ද වී අලෙවි මණ්ඩලය හා ලංකා සතොස සමාගම වෙත කෝටි ගණනක මුදලක් පොලු තබා තිබුණි. සංස්ථාව විසින් ලංකා සතොස සමාගම වෙත රුපියල් අටකෝටි අනූදෙලක්ෂ, විසිඅටදහස් හයසියදාහතරක මුදලක් (89,228,614) ගෙවීමට ඇති අතර වී අලෙවි මණ්ඩලය වෙත ගෙවීමට ඇති මුදල රුපියල් අනුහය කෝටි, හැටහයලක්ෂ, හැටහයදහස්,එකසියඅනූදෙකකි. (966,666,192) සංස්ථාවේ ගිණුම්කරණ පද්ධතියෙන් ලබාගත් තොරතුරුවලට අනුව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට මෙකී මුදල් සංස්ථාවට අයවීමට හා ගෙවීමට ඇත. කෙසේ වුවද සංස්ථාව විසින් අදාළ ආයතන සමග එකගතාවයකට පැමිණ එම මුදල් අයකරගැනීමට හා ගෙවීමට සංස්ථාව මගින් කටයුතු කර නොතිබුණි.

එමෙන්ම සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු දේපළ අතුරින් කුලියට දීමට කටයුතු නොකර නිශ්කාර්යව පැවති ගොඩනැගිලිවල වර්ග අඩි ප්‍රමාණය 161,136කි. 2015 වර්ෂයේ දී ඉදිරිපත්කොට ඇති වත්කම් වාර්තාවේ සඳහන් ආකාරයට බදු කුලියට අනුව මෙම ගොඩනැගිලි නිෂ්කාර්යව පැවතීමෙන් වාර්ෂිකව සංස්ථාවට අහිමිවී ඇති ආදායම රුපියල් පන්කෝටි විසිපන්ලක්ෂ අසූපන්දහස් හාරසිය හතළිහකි. (52,585,440) කෙසේ වුවද මේ වනවිට එකී දේපළ කුලී පදනම මත ලබාදීමට සංස්ථාව විසින් ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර තිබුණි. එහෙත් සංස්ථාවේ දේපළ ආදායම් ඉපයීම සඳහා කාර්යක්ෂමව යොදාගැනීමට සංස්ථාව මගින් කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව ප්‍රත්‍යාගණන වාර්තාවේ සඳහන් මිල ගණන්වලට වඩා අඩුවෙන් ගොඩනැඟිලිවල වර්ග අඩියක මිල නියමකොට තිබුණි. මෙම තත්ත්වය නිසා බදුදෙන ලද දේපළවලින් 2021 වර්ෂය තුළදි සංස්ථාවට අහිමි වූ ආදායම රුපියල් එක්කෝටි හැත්තැලක්ෂ, හතලිස්දහස්, අටසියහැටඅටකි. (107,040,868) කෙසේවුවද මේ පිළිබඳ සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ප්‍රත්‍යාගණන වාර්තාවේ සඳහන් මිල ගණන්වලට වඩා අඩුවෙන් ලබාදි ඇති ඇතැම් ගබඩා දේපළ අදාළ බදු ගැනුම්කරු විසින් එකී ගබඩා අලුත්වැඩියා කිරීම සඳහා සිය අරමුදල් යොදාගෙන ඇති බවය. එමෙන්ම සංස්ථාව සතු ගබඩා 13ක් නවීකරණ කටයුතු සඳහා 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට රුපියල් අටකෝටි, විසිපන්ලක්ෂ, විසිපන්දහස්, හයසියතිස්දෙකක මුදලක් (82,525,632) ක් වැයකර තිබුණි. මෙකි ගබඩාවල සියලුම නවීකරණය කිරීමේ කටයුතු 2020 වර්ෂය තුළ අවසන් කළ යුතු වුවද නවීකරණ කටයුතු අවසන්කොට තිබුණේ ගබඩා 09ක පමණි.

එමෙන්ම සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව ඇති වාහන සංඛ්‍යාව 97කි. ඉන් වාහන 11ක් ධාවනයෙන් ඉවත්කර තිබුණි. මේ පාරිභෝගික ජනතාවට සේවය කිරිමේ අරමුණ ඇතිව පිහිටුවා ඇති රජ්‍ය සංස්ථාවක කෙරුවාවල්ය. බොහෝ රාජ්‍ය සංස්ථා දූෂණයෙන් පිරීගොස් ඇත. සංස්ථාවල පවතින අකාර්යක්ෂමතාවය හා දූෂණය නිසා අවසානයේ වන්දිගෙවීමට සිදුවන්නේ මේ රටේ බදුගෙවන ජනතාවට ය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment