බාල එන්නත් සාම්පල WHO අනුමත රසායනාගාරයක පරීක්‍ෂණයකට යවන්න

81

මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහරින ලද ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද රසායනාගාරයක පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධව නඩුව යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීය.

නඩුවේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අසේල විජේසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම මත කරුණු දැක් වූ රජයේ අධිනීතිඥවරයා පැවසූවේ, පළමු සැකකරු සපයන ලද හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් හා රිටෝප්ක්සි මැප් යන නියමිත උෂ්ණත්ව යටතේ ගබඩා කර ඇති එන්නත් මාත්‍රා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද

රසායනාගාරයක පරීක්ෂාවකට යොමු කිරීම අවශ්‍ය බවයි.

මෙරට විශේෂඥ වෛද්‍ය කමිටු මඟින් කරන ලද පරීක්ෂණ තුළින් එම ඖෂධ ප්‍රමිතියෙන් තොර ඖෂධ බවට අනාවරණය වී ඇති බැවින් මේ ආකාරයේ විශේෂ රසායනාගාර පරීක්ෂාවකට එම ඖෂධ එන්නත් මාත්‍රා යොමු කිරීම අවශ්‍ය බව රජයේ අධිනිතීඥවරයා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.

ඒ අනුව ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය සිදු කළ අතර, එමෙන්ම රජයේ අධි නීතිඥවරයා වැඩිදුරටත් සිය කරුණු දැක්වීම මඟින් පවසා සිටියේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය වන ඇතැම් කරුණු සනාථ කර ගැනීමට අධිකරණ නියෝග අනුව ප්‍රශ්නාවලියක් යොමු කළ බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ප්‍රශ්නාවලියට සම්පූර්ණ පිළිතුරු ලබා දීමක් සිදු කර නොමැති බැවින් ඔහුට මැයි 10 වන දිනට පෙර ඒ සඳහා පිළිතුරු ලබා නොදෙන්නේ නම් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධව කරුණු දැක්වීමට දන්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ඒ අවස්ථාවේ දී පළමු සැකකරු වන ඖෂධ සමාගම් හිමිකරු වන සුදත් ජනක් ප්‍රනාන්දු, හතරවන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගණකාධිකාරි නෙරාන් ධනංජය, අටවන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දහවන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු නැවත ඇප ඉල්ලීම් සිදු කළහ.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් සිදු කළ ඇප ඉල්ලීම් සම්බන්ධව පිලිතුරු දේශනය සිදු කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පැවසුවේ එකොළොස්වන සැකකරු වන ඇගයීම් කමිටු සාමාජික ලෙස කටයුතු කළ වෛද්‍ය තුසිත සුදර්ශන් යන අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අධිකරණ නියෝග අනුව විශේෂ පංච පුද්ගල කමිටු වෛද්‍ය වාර්තාවක් ලැබී ඇති බවයි.

එම වෛද්‍ය වාර්තා තුළින් එකොළොස්වන සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානමක පවතින තත්ත්වයක් බවට සනාථ කර ඇති බැවින් ඔහුට සුදුසු ඇප කොන්දේසියක් මත ඇප නියම කරන ලෙස අධිකරණයට දන්වා සිටියාය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එකොළොස්වන සැකකරු ජීවිත අවදානම් තත්ත්වයක පසුවන හෘද රෝගියෙක් බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔහුව ඇප මත මුදා හරින බව පැවසුවාය. ඒ අනුව සැකකරු ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් අටදෙනා මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment