දුර්දාන්ත පාලනය වෙනස් කිරීමට හැකි එකම දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි

58

– පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා

තමන් සමගි ජනබලවේගය සමඟ එක් වූයේ මේ වන විට රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කොට ජනතාවාදී පාලනයක් ඇති කිරීමට හැකි වැඩිම ජන බලවේගය සහිත ප්‍රබල දේශපාලන ප්‍රවාහය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (01දා) පැවසීය.

මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ඊයේ දින ලබා ගත් පසුව විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකටද සහභාගි විය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

මම සමගි ජනබලවේගය සමඟ එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිවූ ගැටලු‍වක් නිසා නෙවෙයි. රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය භාරය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා. 2024 ආරම්භයේදී රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට ප්‍රවේශයක් ලබාදෙන්න පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන නිසා. රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්න ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයේදී අපි ජනතාව දිනවිය යුතුයි. ඒ නිසා වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය සමග එකතු වීමට තීරණය කළේ.

වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට වඩා වෙනස් වුණ වැඩපිළිවෙළක් ජනතාව දිනවන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. වර්තමාන ආණ්ඩුවට රටේ තිබෙන ආර්ථික ගැටලු‍වලට විසඳුමක් ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් සහ වැඩපිළිවෙළක් නෑ. අපනය ආර්ථිකය පිළිබඳ වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. ණය ගෙවන්න තවත් ණය ගනිමින් රට තවත් අගාධයකට ඇද දැමීමට වර්තමාන පාලකයන් කටයුතු කරමින් සිටිනවා. ජනතා ශක්තියක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි ශක්තිමත් නායකත්වයක් තිබෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙළ සමඟ එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්.

කතානායකවරයාට දකුණු පසින් වාඩිවෙලා සිටින අයට විතරයි රට කරන්න පුලු‍වන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් කතානායකවරයාට වම් පසින් සිටින බොහෝ දෙනෙකුට රටක් පාලනය කිරීමට හැකි දැනුමක් අවබෝධයක් අද්දැකීමක් තිබෙනවා. අපගේ පාලන තන්ත්‍රයක් තුළ රටේ පවතින ගැටලු‍වලට සාධනීය විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ එකතු වීම සමගි ජනබලවේගයට විශාල ශක්තියක්. ෂාන් විජයලාල් ද සිල්වාට පොදුජන පෙරමුණ සමඟ කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් ඔහු රට වෙනුවෙන් දැවැන්ත තීරණයක් අරගෙන තිබෙනවා. ඔහුගේ එම තීරණය අපි සියලු‍ දෙනාට විශාල ශක්තියක්. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙළ ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට අපි සියලු‍ දෙනා එකතු වෙලා සිටිනවා. රටේ ජනතාව පත්ව තිබෙන පීඩනයෙන් ගොඩගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා අංග සම්පූර්ණ ඒකාබද්ධ වැඩපිළිවෙලක් 2024 ඇතිකිරීම තමයි අපගේ ඉලක්කය වෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා

නිදහස් ජනතා සභාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ ආණ්ඩු කරන්න ඕන කියලා තීරණය කළේ 2022 ජුලි 20. පාර්ලිමේන්තුව තුළ සිටින විපක්ෂයේ කණ්ඩායම් සහ පාර්ලිමේන්තුවෙන් එළියේ සිටින විපක්ෂ කණ්ඩායම් එකතු කරගෙන ඒකාබද්ධ පොදු සන්ධානයක් නිර්මාණය කළ යුතුයි කියලා නිදහස් ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනා තීරණය කළා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment