පඬුකරඳ ශාකය ඉවත් කිරීමට එරෙහිව උසාවි යනවා – සුරකිමු ශ්‍රී ලංකා කියයි

372

රතු දත්ත පොතටද ඇතුළත් වූ ලොවින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ඉදිකෙරෙමින් තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දාරළුව ප්‍රදේශයේ පිහිටි කෲඩියා සිලනිකා (පඬුකරඳ) ශාකය ගළවා ඉවත් කිරීම බලහත්කාරයෙන් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බැවින් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ “දිවයින”ට ඊයේ (11දා) පැවසූහ.

මෙම ශාකය ඉවත් කිරීම සඳහා චීනය සමග එක්ව කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර දුන්නේ කවුරුන් දැයි රජය වහාම ජනතාවට හෙළි කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මෙම කෲඩියා සිලනිකා ශාකයට මේ අනතුර සිදුවන බව දුටු නිසාම තමයි අපි එය පිරිත් කියා මහණ කර සාංගික දේපළක් බවට පත් කළේ.

අපි පරිසර අමාත්‍යාංශයෙන් සහ වන සංරක්‍ෂණයෙන් අහනවා මෙම කුලයට සහ මෙම ප්‍රභේදයට අයත් ශාකමද අනෙක් තැන්වලත් තිබෙන්නේ කියලා. මෙවැනි ශාක කිහිපයක් තිබෙන බවට ඔවුන් කියා තිබුණා.

මෙම ශාකය වැනි ශාක නැවත හදාගැනීමට නම් මව් ශාකය තිබිය යුතුයි. මේ සිදුකර අත්තේ විශාල ජාතික අපරාධයක්. අපි මුලින් පොලිසියට පැමිණිලි කර පසුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා. චීන්නුන්ට මේ විදිහට අපේ රටේ ගස් ගලවන්න අවසර ලැබෙනවා නම් ඉදිරියේදී රටේ ජනතාවත් උස්සන් යයි යැයිද පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment