ඝාතනයට ලක්වූ පීඑච්අයිගේ වැටලීම් හා නඩු ගැන වෙන වෙනම සොයයි

53

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ඒ මහතා විසින් පසුගිය කාලය පුරා සිදු කරන ලද විශේෂ වැටලීම්වලට අදාළ නඩු සියල්ල වෙන වෙනම පරීක්‍ෂා කිරීමට කටයුතු කරමින් සිටියි.

ඒ මහතා සිදු කළ ප්‍රශ්න සහගත වැටලීමකට අදාළ පාර්ශ්වයක් විසින් පාතාලයට ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය කුලී ඝාතකයන් පිරිසක් විසින් කර ඇති බවට පොලිසිය සැක කරයි.

මේ අතර මෙම ඝාතනය සිදුකර පලාගිය කුලී ඝාතකයන් ගමන් ගත් මාර්ගවල සී. සී. ටී. වී. කැමරා සියල්ල මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් පරීක්‍ෂා කර තිබේ.

ඝාතකයන් පැමිණි යතුරුපැදිය මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම යතුරු පැදිය සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

විෂ සහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ව්‍යාපාරිකයන් පිරිසකට සහ අම්බලන්ගොඩ ධීවර වරායේ ධීවරයන් පිරිසකට එරෙහිව නඩු පැවරීම ඇතුළු මහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු රැසක් රොෂාන් කුමාර මහතා විසින් මෙහෙයවන බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ රොෂාන් කුමාර මහතා පෞද්ගලික යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන ගොස් ඇති අතර එම නාලිකාවේ විකාශය වූ ප්‍රශ්න සහගත වැඩසටහන් සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී තිබෙයි.

සිය බාල දරුවා පාසලට ඇතුළත් කිරීමට නියමිත මුල්ම දිනයේ දරුවාට ඇඳුම් අන්දවමින් සිටියදී නිවසට කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණේ පෙරේදා 26 වැනිදා උදෑසන 6.50 ට පමණය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment