පළාත්පාලන ආයතන උපයා ගන්නා මුදල් විගණනය කිරීමට කෝපා අවධානය

60

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයා ගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

සභාපතිවරයා ඒ අදහස් පළකළේ (29දා) පාර්ලිමේන්තුවේදී, 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි. එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙළ පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

එමෙන්ම රට බංකළොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමට සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද අවධාරණය කළේය.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතනවලට වගකියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.

2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබාදීම මෙහිදී සිදු කෙරිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment