කිඹුල් නඩුවේ සරත්ට වරෙන්තු

271

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති ‘කිඹුල්’ නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාර සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01 දා) නැවත වරෙන්තු නිකුත් කළේය.

එම සාක්‍ෂිකරු පදිංචි ස්ථානවලින් අතුරුදන්වී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නියෝගයක් කරන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් එලෙස සාක්‍ෂිකරුට නැවත වරෙන්තු නිකුත් කළේය. එම නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ විනිසුරුවරයා අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ පස්වන සාක්‍ෂිකරුට යළි එදින පෙනී සිටින ලෙසට ද අවවාද කළේය. රාජිත සේනාරත්න මහතා මෙන්ම දෙවන විත්තිකාර මොහොමඩ් රුමි මහතාද ඊයේ (01 දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

2019 ජනාධිපතිවරණ සමයේදී වෙස්වලාගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් සුදු වෑන් භාවිත කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අසත්‍ය ප්‍රකාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment