වැට් බදු සංශෝධනයෙන් මෘදුකාංග ඩිජිටල් සමාගම්වලට බරපතළ බලපෑමක් – ආසියානු අන්තර්ජාල එකමුතුව (AIC)

106

මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතිය වන්නේ අදාළ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ව්‍යාපාර අධිකරණ සීමාවට අදාළව බදු අයකිරීම නොව පාරිභෝගික අධිකරණ සීමාවට අදාළව බදු අයකිරීම බව අන්තර්ජාල කර්මාන්තයේ ප්‍රධාන කණ්ඩායම් නියෝජනයක් සහිත ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන ආසියානු අන්තර්ජාල එකමුතුව (Asia Internet Coalition) සඳහන් කර සිටියි.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ක්‍රියාවට නැංවීමෙන් දේශීය මෘදුකාංග සහ ඩිජිටල් සේවා සැපයුම්කරුවන් කෙරෙහි වන බලපෑම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදී ඉහත කරුණු සාකච්ඡා කෙරිණි.

පෙර පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මතු වූ ගැටලුවක දිගුවක් ලෙස PickMe, Uber, AIC (Meta, Google, X Booking.com, Amazon ආදිය නියෝජනය කරමින්) සහ Daraz වැනි දේශීය සහ ජාත්‍යන්තර මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07දා) පැවැත්වුණු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබිණි.

එවැනි සියලුම මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන් දැනට වැට් බද්ද අයකිරීමෙන් නිදහස් කර ඇති බවත් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අගය එකතු කළ බදු (සංශෝධන) පනත් කෙටුම්පතත් සමඟ එම සියලු නිදහස් කිරීම් අවසන් වන බවත් මෙහිදී අනාවරණය විය. එනිසා මෙරට සිට ක්‍රියාත්මක වන (on shore) මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන්නන්ට අවාසියක් සිදුවන බව මෙහිදී සාකච්ඡා විය.

එවැනි ප්‍රතිපත්තිමය තීරණයක් මගින් මෙරට ව්‍යාපාර (on shore) ක්‍රියාත්මක වීම අධෛර්යමත් කරනු ඇති බවත්, එමගින් රාජ්‍ය ආදායමට බලපෑම් ඇති කරමින් එවැනි එම ව්‍යාපාර මෙරටින් බැහැරව(Off shore) ආරම්භ කිරීමට පෙළඹෙන බවත් කමිටුවේ අදහස විය. ඒ අනුව ආසියානු අන්තර්ජාල එකමුතුවේ (AIC‍) සහාය ඇතිව මෙම ගැටලුව පිළිබඳව සොයා බලන ලෙසත් 2023 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ඉදිරි මාර්ගයක් පිළිබඳව කමිටුවට වාර්තා කරන ලෙසත් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කරන ලදි.

රාජ්‍ය අමාත්‍ය වෛi සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment