රාගම කෝටි දහ අටක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලයේ සැකකරුවෝ පැය කීපයකින් අත්අඩංගුවට

110

රාගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ උගස් ගැනීමේ මධ්‍යස්ථානයක සිදුවූ කෝටි දහ අටක් වටිනා රන් ආභරණ සහ රුපියල් ලක්ෂ හයක මුදල් කොල්ලයේ සැකකරුවන් සොරාගත් මුදල් සහ රන් ආභරණ සමග සිද්ධියෙන් පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සමත් වූහ.

රාගම මංසන්ධියේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීයෙකුට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය 09දා දහවල් උගස් මධ්‍යස්ථානය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු පරස්පර විරෝධී ප්‍රකාශ සහ අනුව යමින් පරීක්ෂණ ආරම්භ කර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කොල්ලය ව්‍යාපාරික ස්ථානය හිමිකරුගේ මව සහ එහි සේවයේ නිරත මුදල් අයකැමිවරිය එක්ව සැළසුම් කර ඇති බව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා සහ සොකෝ නිලධාරීන් ඇතුළු

කණ්ඩායමක් සැකකරුවන්ගෙන් කළ කරුණු විමසීමේදී අනාවරණය කරගෙන ඇත.

පොලිසිය සිදුකළ ප්‍රශ්න විමසීමේදී උගස් මධ්‍යස්ථානයේ හිමිකරුගේ මව මෙම ව්‍යාජ කොල්ලයේ සැලසුම සිදුකර ඇති අතර ඇයගේ සැළසුමට අනුව මත්ලෝලීන් දෙදෙනෙකු ආයතනයට ඇතුළු වී ව්‍යාජ ගිනි අවි පෙන්වා රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන පලාගොස් ඇත.

අත් අඩංගුවට ගත් උගස් මධ්‍යස්ථානය හිමිකරුගේ මව සහ අයකැමිවරියද එහි පිරිසිදු කිරීමේ කාර්ය සිදුකළ පුද්ගලයා සහ සැළසුම් සහගතව කොල්ලය සිදුකළ රාගම ප්‍රදේශයේම පදිංචි මත්ලෝලීන් දෙදෙනාද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් පස්දෙනා වැලිසර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් නිලධාරීන් ගේ දක්ෂතාවය මත මංකොල්ලය සිදුවී පැය දෙක තුනක කාලයකින් රුපියල් කෝටි දහයක පමණ රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ නමයක මුදල්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. හිමිකරුට රක්ෂණ ආවරණයෙන් මෙම මුදල් ලබාගත හැකි බැවින් සැළසුම් සහගතව මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලිසිය සැකකරුවන්ගෙන් සිදුකළ කරුණු විම්සීමේදී අනාවරණය කර ගෙන ඇත.

කැලණිය සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර මහතාගේ විමර්ශන අනුව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක කසුන් සුභාෂන, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අබේරත්න,පොලිස් සැරයන් 27096 උපනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 67675 මහින්ද, 79574 සදුන්, 33250 හෙට්ටිආරච්චි, 90446 අනුරුද්ධ, 97984 සේනාධීර යන නිලධාරීන් සහ පොලිස් ස්ථානීය පරීක්ෂක නිලධාරීන් විසින් සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment