ලිට්‍රෝ ගෑස් බෙදීම ඇරඹෙයි – කි. ග්‍රෑම්  12.5 මිල  රු.50 කින් ඉහළට

189

ගෑස් මිලදී ගන්න මැයි මස විදුලිබිල්පත ඉදරිපත් කළ යුතුයි

ලිට්‍රෝ සමාගම රෝහල්, හෝටල්, ආදාහනාගාර සහ මහජනතාව සඳහා ඊයේ (11 දා) සිට ගෑස් බෙදාහැරීම ආරම්භ කළේය. ඒ අතර කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

මෙහි පළමු පියවරේදී ඊයේ සහ අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකෙරන අතර හෙට (13 දා) සිට අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදාහැරීම ඇරැඹේ.

ජනතාව විසින් අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේ මැයි මස විදුලිබිල ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 37.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 17,650.00 ක්, කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 4910.00 ක්, කිලෝ 05 සිලින්ඩරයක් රුපියල් 1970.00 ක්, කිලෝ 2.3 ක සිලින්ඩරයක් රුපියල් 914.00 ක් ලෙස මිල නියම කර ඇතත් ඒවා ප්‍රවාහනය ඇතුළු අනෙකුත් වියදම් සමඟ වෙනත් දිස්ත්‍රික්කවලට බෙදාහැරීමේදී මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදුවන බව ලිට්‍රෝ සමාගම කියා සිටී.

ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් නැවක් පෙරේදා (10 දා) දිවයිනට පැමිණි අතර තවත් මෙටි්‍රක් ටොන් 3740 ක් රැගත් නෞකාවක් ඊයේ දිවයිනට ළඟා වී තිබිණි. තවත් ගෑස් මෙටි්‍රක් ටොන් 3,200 ක් රැගත් නැවක් ලබන 15 වැනිදා පැමිණීමට නියමිතය. මෙම මස තුළ ගෑස් මෙටි්‍රක් ටොන් 33,000 ක් ඇණවුම් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලෝක බැංකුව අතර අත්සන් කෙරුණු ගිවිසුමකට අනුව මෙම ගෑස් තොග දිවයිනට ලැබීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment