පරිසර දූෂණයේ නිසැක හවුල්කාරයෝ

19

“ඔබට දේශනවලදීත්, සංචාරය කරන අවස්ථාවලදීත් ජලය පානය කිරීමට අවශ්‍ය නම් කරුණාකරලා අපි ඔබට දීලා තිබෙන ප්ලාස්කුව ළඟ තියාගන්න. මේ ආයතනයේ හැම තැනම වතුර ෆිල්ටර් සවිකර තිබෙනවා. ඔබට ඒවාගෙන් ඔබේ ප්ලාස්කුව පුරවා ගන්න පුළුවන්.” මෙහෙම කිව්වේ ඉන්දීය වනජීවි ආයතනයේ දේශකවරයෙක් තමන්ගේ පළමු දේශනයේදීම ඔවුන්ගේ විදේශීය ශිෂ්‍ය කණ්ඩායම අමතලා. ඔහු තවදුරටත් කියනවා “ඔබ දන්නවා මේ පරිශ්‍රයෙන් එළියට ගියාම පොලිතින්-ප්ලාස්ටික් කසළ හැමතැනම විසුරුවලා තියෙනවා. ජල පහරවල් අපවිත්‍ර වෙලා. අපට මේ තැන එහෙම කරගන්න ඕන නෑ. අනික අපි තමයි පරිසර සංරක්ෂණය, වන ජීවීන්, පරිසර පද්ධති රැකගැනීම ගැන පොදු ජනතාවට වගේම රජයටත් උපදෙස් දෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම අපි ඒක ක්‍රියාවෙන් පෙන්නන්න ඕනා.” මේක සුළු සිද්ධියක් වුණත්, බොහෝ අධ්‍යයන සැසි, සම්මන්ත්‍රණවල මේස, ප්ලාස්ටික් වතුර බෝතල්වලින් සරසන අපිට මේ ප්‍රකාශය ඇතුලෙ හිතන්න දෙයක් ඉතිරි කරලා තිබෙනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් අපේ පරිසරය දූෂණය කරන ප්‍රධානතම මූලාශ්‍රයක් වෙලා ඉවරයි. ගොඩබිම, සාගරය සහ මිරිදිය ආදී සෑම පරිසර පද්ධතියක්ම ප්ලාස්ටික්-පොලිතින්වලින් දූෂණය වෙලා. නැතිනම් එසේ වීමේ දැඩි අවදානමක තිබෙනවා. මේවායේ ජීවත්වෙන ජීවී විශේෂ සෘජුව හා වක්‍රව මේනිසා බලපෑමට ලක්වෙලා. කොරල්පර, මුහුදු තෘණ බිම් වැනි සාගරික පරිසර පද්ධති සහ ඒවායේ ජීවත්වන ජීව විශේෂ වඳවීමේ තර්ජනයට පවා මුහුණ දීලා.

සාගරයේ සිදුවන මේ අපවිත්‍ර වීම අපට නොපෙනුනාට, ඒක එහෙම වෙන්නේ අපි ගොඩබිම කරන දේවල ප්‍රතිඵලයක් විදිහටයි. ඔබ භාවිත කරන ආහාර දවටන, ඖෂධ දවටන සහ භාණ්ඩ ඇසුරුම් වැනි දේ නිසි පරිදි බැහැර කරනවා ද? ඔබ එසේ නොකරනවා නම්, ඔබත් මේ පරිසර දූෂණයේ නිසැක හවුල්කාරයෙක්. ඒ විතරක් නෙමෙයි. ඔබ එහි ගොදුරක් බවත් සිහි තබාගත යුතුයි. ක්ෂුද්‍ර ප්ලාස්ටික් (Micro plastic) ආහාර දාම සහ ජාල ඔස්සේ නැවත අප වෙතටම පැමිණ හානි කරන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන දූපත් රාජ්‍යයක ජීවත් වන අපට මේ සාමුද්‍රික පරිසරය රැකගැනීමේ වගකීම සහ හානිවීමේ අවදානම අනෙක් හැමෝටම වඩා වැඩියි.

යුනෙස්කෝ ලෝක උරුම කලාපයක පිහිටා තිබෙන ශ්‍රී පාදස්ථානය සහ සමනල අඩවිය අවිචාරශීලී වන්දනාකරුවන් නිසා ප්ලාස්ටික් හා පොලිතින්වලින් අන්ත දූෂණයට ලක්වෙලා. සෑම වසරකදීම අපි මේ “පව්” ගණින්නේ ටොන්වලින්. ශ්‍රී ලංකාවේ සෑම ආගමකටම අයත් බොහෝ ආගමික ස්ථානවල තත්ත්වය මේ විදිහම තමයි. මේවායින් අපේ ආගමික භක්තියත් විද්‍යමාන වෙනවා.

අපේ, ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ කුණු කාලා වසරකට වන අලි කීදෙනෙක් මිය යනවා ද? වෙනත් සතුන්ට වෙන දේවල් අපි දන්නෙත් නෑ. මුල්බැසගත් ශිෂ්ටාචාරගත උරුමයක වර්තමානිකයන් වන අපිට මේක ලැජ්ජාවට කාරණයක්. අපි අපේ මංගල – අවමංගල සැරසිලි පොලිතින්වලින් ගහන අතිශය දූෂිත හා විනාශකාරී චාරිත්‍ර විධියක් බවට පත්කරගෙන. මේවා කොතරම් අපේ හර පද්ධතිවලින් දුරස්ථ ද?

පොලිතින් ප්ලාස්ටික් අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්ට අවශ්‍ය බව අප පිළිගත යුතුයි. නමුත් අද වෙලා තියෙන්නේ අපි පොලිතීන් හා ප්ලාස්ටික්වල වහලුන් බවට පත්වීම. නැතිනම් ඒවාට ඇබ්බැහිවීම. මේක වහාම අවබෝධයෙන් නවතා දැමිය යුතු තත්ත්වයක්.

කොහොමද මේකට ප්‍රවේශයක් ගන්නේ? “3R” සංකල්පය අපි අපේ ජීවිතවලට එකතු කරගත්තොත් අපිට පුළුවන් පොලිතින්-ප්ලාස්ටික්වලින් විතරක් නෙවෙයි ස්වාභාවික සම්පත් නාස්තියෙනුත් ඉවත් වෙන්න. ඒ වගේම පරිසර දූෂණයට දායක නොවී ඉන්න. පළවෙනි ආර් එකෙන් කියන්නෙ “Reduce” නැතිනම් අඩු කරන්න. අපි භාවිත කරන දේවල්වල ප්‍රමාණය අඩු කරන්න අපට පුළුවන්. ඕනෑවට වඩා ඒවා භාවිතයෙන් ඉවත්වීම එයින් අදහස් කරනවා. අපි සමහරවිට සමහර දේවල් පරිභෝජනය කරන්නේ අවශ්‍ය නිසාම නෙමෙයි. ඇබ්බැහියට. පොලිතින් ප්ලාස්ටික් උනත් එහෙමයි. දෙවැනි ආර් එකෙන් කියන්නේ “Reuse” නැවත භාවිත කරන්න. පොලිතින් බෑග්, ප්ලාස්ටික් ආවරණ වගේ දේවල් නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒවා නොමිලේ නැවත නැවත ලබාදුන්නත් ඒවා ප්‍රතික්ෂේප කරලා අපිට පැරණි ඒවාම පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලැජ්ජාවට කාරණයක් නොව අභිමානයට හේතුවක්! අවසාන ආර් අකුරෙන් කියන්නේ “Recycle” ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. භාවිත කරන ද්‍රව්‍ය යම් ක්‍රියාවලියකට බඳුන් කරලා නව ද්‍රව්‍යයක් බවට පත්කර නැවත භාවිතයට ගැනීම මෙයින් අදහස් වෙනවා. ඔය අබලි ප්ලාස්ටික් එකතු කරලා කරන්නේ ඔය වගේ දෙයක්.

රජයටත්, පළාත් පාලන සහ වෙනත් රජයේ ආයතනවලටත් මෙහිදී විශේෂ වගකීමක් පැවරෙනවා. නව නීති-ප්‍රතිපත්ති සම්පාදනය වගේම රජයේ ආයතන හරහා ඒවා ක්‍රියාත්මක කරවීම මූලික දේවල් විය යුතුයි. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ඉදිරිගාමී නියෝගයක් නිකුත් කළා. ඒ තමයි, පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේ දී පොලිතින් බෑග් නොමිලයේ ලබා දීම අත්හිටුවන ලෙස. මෙයිනුත් පාරිභෝගිකයන්ගේ පොලිතින් ඇබ්බැහියට යම් බලපෑමක් එල්ල වෙනවා.

රජය විතරක් නොවේ, පෞද්ගලික අංශයත් මේ ක්‍රියාවලියට ඈඳාගත යුතුයි. මේ සියල්ල සමගම ජනතාව දැනුවත් කිරීමේ සක්‍රීය වැඩපිළිවෙළක අවශ්‍යතාවත් තිබෙනවා. අපි බොහෝ පරිසර දිනවල දී කරන ප්‍රධාන ක්‍රියාකාරකමක් තමයි, කසළ හෝ පොලිතින්-ප්ලාස්ටික් එකතු කිරීම. මම පෞද්ගලිකව මේකට විරුද්ධයි. අපි කරන්න ඕන කසළ නොදාන පුරවැසියන් නිර්මාණය කිරීමට මුල පිරීම මිස, වගකීම් විරහිත මිනිසුන්ගේ කුණු කසළ එකතු කිරීම පරිසර දින තේමාවක් කරගැනීම නොවෙයි. ඒක සමහරවිට පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් වෙන්නත් පුළුවන්.

ශ්‍රී ලංකාව සාක්ෂරතාව අතින් ඉහළ තැනක සිටියත් “පරිසර සාක්ෂරතාව” (Environment literacy) අඩු මට්ටමකයි තිබෙන්නේ. බොහෝ පරිසර අර්බුදවලට මුල පුරවැසියන්ට පරිසර සාක්ෂරතාව නැතිකම.

වගකීම් සහගත පුරවැසි පෞරුෂය නිර්මාණය වෙන්න ඒක ප්‍රධාන බාධාවක්.

පරිසර සංරක්ෂණයට දායක වෙන්න හැමවෙලේම පාරට පැනලා මහා ඝෝෂා නගන්න ඕන නෑ. නිහඬවම ඔබේ සටන නැතිනම් විප්ලවය ඔබ තුළින්ම ආරම්භ කරන්න පුළුවන්. ඔබට පරිබාහිරව තිබෙන ඕනෑම සටනකට වඩා එය ප්‍රබලයි. ඒක නිසා පොලිතින්-ප්ලාස්ටික්වලට එරෙහි සටන අවබෝධයෙන් යුතුව මේ දැන් සිටම ආරම්භ කරමු. වගකීම් සහගත පුරවැසියෙක් වෙමු. ඇබ්බැහියෙන් මිදෙමු.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment