ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ජාතික ප්‍රමුඛතාවයකි

771

කෝල්බෲක් – කැමරන් කොමිසමෙ අධ්‍යාපන නිර්දේශවල සිට දේශීය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ පසුව මහපොළ ශිෂ්‍යත්වය දක්වා ශ්‍රී ලංකාව සිය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ විටින් විට උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන දර්ශක ඇති රටවල් අතර වේ. නිදහසින් පසු ශ්‍රී ලංකාව මානව සංවර්ධනයේ ඉහළ දර්ශක අගයන් අත්කර ගැනීමට සමාජ සුබසාධන මත පදනම් ප්‍රතිපත්ති අනුගමනය කළේය. විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කටයුතුවල කේන්ද්‍රස්ථානයයි . දල වශයන් උසස් පෙළට පෙනී සිටින සිසුන්ගෙන් 64%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන අතර, රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ ඔවුන්ගෙන් 19%ක් පමණි. කෙසේ වෙතත් 2019 වසරේ ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1.93% පමණ වේ. සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට විශිෂ්ට උසස් අධ්‍යාපන ක්‍රමයක් වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සෑම විටම රාජ්‍ය තාන්ත්‍රිකත්ව ක්‍රියාකාරිත්වයේ වැදගත් අංගයක්ද වේ. දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට මුහුණ දීමට උසස් අධ්‍යාපනය ජාතික ප්‍රමුඛතාවයකි.

● ශ්‍රී ලංකා උසස් අධ්‍යාපනයේ සන්ධිස්ථාන

19 සහ 20 වැනි සියවස්වලදී, ලංකාවේ උසස් අධ්‍යාපනය සැලකිය යුතු ලෙස හැඩගැසුණේ බි්‍රතාන්‍ය යටත්විජිත ප්‍රතිපත්ති මගිනි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ස්ථාවරත්වයට කෝල්බෲක් කැමරන් කොමිසමෙ ප්‍රතිසංස්කරණ ගණනාවක් නිර්දේශ කළේය. උසස් අධ්‍යාපනයේ පළමු විධිමත් පියවරක් ලෙස වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය ආරම්භ වූයේ 1870 දී, ලංකා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමත් සමඟය. පසුව, නීතිඥයින් ඉදිරිපත් කිරීම සඳහා 1874 දී නීති අධ්‍යාපන කවුන්සිලයක් (පසුව නීති විද්‍යාලය) පිහිටුවන ලදී. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය 1921 දක්වා දිව යයි. 1921 දී ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්‍යාලය පර්යේෂණ සඳහා දැඩි කැපවීමක් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වේ. පසුගිය වසර 75 තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට විශාලතම සහ පුළුල්ම විශ්වවිද්‍යාලය බවට වර්ධනය වී ඇත. නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ශීඝ්‍ර වෙනස්කම් ඇති විය. රාජ්‍ය ප්‍රතිපත්ති කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ සමහර උසස් අධ්‍යාපන ආයතන ජාත්‍යන්තරකරණය සඳහා උපාය මාර්ග සකස් කර ඇත. වැඩිදියුණු කළ අධ්‍යයන ගුණාත්මකභාවය ජාත්‍යන්තරකරණයේ එක් ධනාත්මක අංගයකි. තවද නව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මත පදනම් වූ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත 1979 සිට බලාත්මක විය. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් අධ්‍යාපනය දක්වා නොමිලයේ උසස් අධ්‍යාපනය ලබා දෙන අතර, රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් තිබුණද වාර්ෂිකව ඒවාට ඇතුළත් කරගනු ලබන්නේ සිසුන් 30,000ක් පමණය. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක අධ්‍යාපනය නොමිලයේ වන අතර, මේවාට ඇතුළුවීම අතිශය තරගකාරී වේ. 1981 සිට මහපොළ ශිෂ්‍යත්ව හරහා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට මූල්‍ය ආධාර පිරිනැමීම ආරම්භ විය. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයෙන් ප්‍රතිලාභ ලැබූ විශාල සිසුන් සංඛ්‍යාවක් අදටත් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට දායක වෙති. ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක් පමණ වෙන් කර ඇත. කෙසේ වෙතත්, මෑත වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය වියදම් අඩු වී ඇති අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.93%ක් (ලෝක බැංකුව, 2019) විය. ශ්‍රී ලංකාව තුළ මතුව ඇති නව ප්‍රවණතාවක් නම්, ඉහළ ආදායම් ලබන්නන් තම දරුවන් අධ්‍යාපනය සඳහා විදේශගත කිරීමට නැඹුරු වීම නිසා දේශීය හා විදේශීය මුදල් මිලියන ගණනක් රටින් පිටවීමයි. නව උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හරහා දැනුම සහ හැකියාවන් සහිත තැනැත්තන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ අවස්ථා නොමැතිකම නිසා රට හැර යෑම පාලනය කළ යුතුව තිබේ. තවද පවතින උපාධි විෂයයන් තෝරාගැනීම සහ රැකියා වෙළෙඳපොළට ඒවායේ අදාළත්වය යම් ප්‍රමාණයකට බලපායි. පසුගිය දශක කිහිපය තුළ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවලට (ඡ්‍යෑෂි) සිසුන් බඳවා ගැනීමේ වැඩි වීමක් දක්නට ලැබේ.දිනෙන් දින වැඩිවන සංකීර්ණ ස්වභාවය නිසා උසස් අධ්‍යාපනය සඳහා පුළුල් හා ඒකාබද්ධ ප්‍රවේශයක් රට තුළ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව වැනි රටක දියුණුව සඳහා උසස් අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි.

● රටක ඉදිරි ගමන

ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුව සහ සමාජය ප්‍රතිසංස්කරණයට උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වේ. ඉහළ සාක්ෂරතා අනුපාතයක් ඇති දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනය සඳහා ඉහළම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව පහසුවෙන් ඇතුළත් වේ. නව උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් පාඨමාලා සහ නව ඉගැන්වීමේ ක්‍රම උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක කළ යුතුය. කුමන හෝ හේතු නිසා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්ෂේත්‍ර කිහිපයක් මත පදනම්වී ඇත. තවද මානව සම්පතින් දුර්වල වීමට රටකට ඉඩ නොදිය යුතුය. උසස් අධ්‍යාපනය දියුණුකිරීමෙන් ශ්‍රී ලංකාවේ අලුත් පරම්පරාවට බොහෝ අවස්ථා විවෘත වනු ඇත. නිදහසින් වසර 75කට පසු, ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ දී උසස් අධ්‍යාපනයේ කාර්යභාරය පිළිබඳව විවේචනාත්මකව බැලීමට කාලයයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ජාතික ප්‍රමුඛතාවයකි

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment