අදෝමැයි කරාතේදෝ අතුරු කමිටුව උතුරු මැද කළ අලකලංචිය

137

කුෂාන් සුබසිංහ

ජපානයෙන් ලෝකයට උරුම වූ කරාතේ ක්‍රීඩාව අද වන විට බොහෝ රටවල අඩු වැඩි වශයෙන් ජනප්‍රිය ක්‍රීඩාවකි. එය මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්මත ක්‍රීඩාවක් බවට පත් වන්නේ ජපානය එය පිළිගෙන ශතවර්ෂයකට පමණ පසුවය. එනම් 1975 වසරේදී ය. නිරායුද සටන් කලාවක් වන කරාතේ ක්‍රීඩා මගින් විනය ප්‍රකට වේ. පයින් ගැසීම, පහර දීම සහ අත් සහ පාදවලින් ආරක්ෂක අවහිර කිරීම් භාවිතා කරයි.

කරාතේ ක්‍රීඩාවේ ලෝක පාලන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරන්නේ ලෝක කරාතේදෝ සංගමයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩාවට අදාළව පරිපාලන කටයුතු සිදු කරන ආයතනය ශ්‍රී ලංකා කරාතේදෝ සම්මේලනය ලෙස සැලකේ. එහෙත් දැන් ඒ වෙනුවට පවතින්නේ කරාතේ අතුරු පාලන කමිටුවකි. ඇමැතිගේ අනුහසින් බලයට පත් අතුරු පාලන කමිටුව කෙරෙහි හිටපු පරිපාලකයෝ මේ වන විට මහත් දෝස්මුරයක් එල්ල කරමින් සිටිති.

මේ පත්ව ඇති අතුරු පාලන කමිටුව නීති විරෝධී සහ කවදාවත් ඡන්දයෙන් බලයට පත්විය නොහැකි කණ්ඩායමක් බව හිටපු නිලධාරිහූ ක්‍රීඩා ඇමැතිට සහ ලේකම්ට මතු නොව ජනපතිට සහ අගමැතිටද ලියුම් ලියති. දොස් පවරති. අවනඩුව පවසති. පසුගිය සිකුරාදා දිනක කොළඹ එන් එම් පෙරේරා කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා තවත් බොහෝ දේ ඔවුහු රටට හඬගා කීහ. ඊට සහභාගි වූ හිටපු කරාතේ සම්මේලනයේ ලේකම්වරයා අවධාරණයෙන් කියා සිටියේ අතුරු පාලන කමිටුවට විරුද්ධව උසාවි යන බව යි. දින 60 ක් ඇතුළත මේ අතුරු කමිටුව විසුරුවා හැර වහා නිලවරණයක් කැඳවන ලෙසද ඔහු කීය. එමතු ද නොව ඊට එක් වූ හිටපු උප සභාපති පැවසූයේ මේ අතුරු කමිටුව කරාතේ සම්මේලනයේ නිලවරණය සඳහා තමන්ට එරෙහිව තරග කර පැරදුනු බහුතරයකින් සමන්විත බවයි. ඡන්දෙන් කරන්න බැරි වුණ දේ ඔවුන් දැන් කෙසේ හෝ කරගෙන ඇති බවයි.

අදෝමැයි කරාතේදෝ අතුරු කමිටුව උතුරු මැද කළ අලකලංචිය

ජපානයේ කරාතේ ඉපදුණ ද අපේ රටේ අංගම්පොර ද ඇත. ඒවායේ ද හොඳට අඩි පුඩි ගැසිය හැක. එහෙත් දැන් කරාතේ සම්මේලනයේ ක්‍රියාවන් පිළිබඳව ද අංගම්පොරවලට වඩා “පොරයක්” මතු වී ඇත. “පොරවල්” වෙන්නට ගොස් පොළොන්නරුවේ දී අනාගත් හැටි පිළිබඳව නොයෙක් දේ සැළවේ.

එය මෙසේය. උතුරු මැද පළාත් ජාතික පාසල් කරාතේ තරගාවලිය පසුගිය 21 සහ 22 යන දිනයන්හි පැවැත්විණි. එම තරගාවලිය සඳහා තරග විනිශ්චයට සහභාගි වූවන් අතරින් වැඩි දෙනෙක් නවක විනිසුරුවරුවෝ වූහ. නීති රීති නොදැනීම හා දන්නා නීතිරීති ත් පටලවා ගැනීම මත එම තරගාවලියේ දී පොළොන්නරුවේ මහත් අලකලංචියක් වී ඇත. දෙමව්පියෝ හා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප වතාවක්ම මේ විනිසුරුවරුන්ට හූ හඬවලින් සංග්‍රහ කර සිටියහ. මේ විනිසුරුවරුන් නම් කර එවනු ලැබුවේ අතුරු පාලන කමිටුව මගිනි. එසේම එම තරගාවලියේ දී තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් ඉස්මතු කරන්නට විනිසුරුවරු සහ තරග කමිටු සාමාජිකයෝ උත්සාහ දැරූ බව ද කියවෙති. තරගාවලියට තම දරුවන් සහභාගි කර වූ දෙමව්පියෝ මේ පිළිබඳව අපට මැසිවිලි නැඟූහ.

“දරුවන්ගේ අනාගතය තීරණය වන මේ වගේ තරගාවලියකට ඇයි මේ ආධුනික විනිසුරුවරුන් යොදවන්නේ? අපේ පළාතේ දරුවන්ට වසරකට එක් වතාවක් පමණයි මෙවැනි දස්කම් පෙන්නන්න අවස්ථාවක් උදා වෙන්නේ. එම අවස්ථාවත් නැති කරලා දැම්මා ම අපේ දරුවන්ගේ මහන්සිය, කැප කිරීම හා හැකියාව ඔක්කොම නාස්ති වෙනවා. වැදගත්ම දේ ක්‍රීඩා ඇමැතිවරයාගේ දිස්ත්‍රික්කයේ දීම මේ වගේ දේවල් සිදු වෙන එකයි. ඒ නිසා මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න කියලා අපි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. අඩුම තරමේ තරග සැලැස්මවත් නිවරදිව (ඩ්‍රෝ ශීට්) හසුරවා ගැනීමට මේ ඇතැම් විනිසුරුවරුන්ට පුළුවන් වුණේ නැහැ.”

දැන් එම තරගාවලිය නිමා වී ඇත. අප අවධාරණය යොමු කළ යුත්තේ ඉදිරියේ දී හෝ මෙවැනි දේවල් යළි සිදු වීම වළක්වා ගැනීමයි. සම්මේලනය හෝ අතුරු කමිටුව හෝ ක්‍රීඩකයන්ගේ දස්කම් සමග සෙල්ලම් කරන්නේ නම් එය සමස්ත ක්‍රීඩකයන්ට සිදු කරන අසාධාරණයකි. ජපානය විනය ඉහළින් පිළිගන්නා රටකි. එවැනි රටකින් උපන් කරාතේ ක්‍රීඩාව ට අප ද විනය ගරුක වීම ක්‍රීඩාවටත් රටටත් යහපත්ය.

 

advertistmentadvertistment
advertistmentadvertistment