අපේ ජනබල පක්ෂයෙන් රතන හිමි නෙරපීම නීතී විරෝධීයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

255

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අපේ ජනබල පක්‍ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එම පක්‍ෂය විසින් ගෙන තිබූ තීරණය නීති විරෝධී තීරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අපේ ජනබල පක්‍ෂය විසින් තමා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පියවර ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමියන් විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත් 13 වැනිදා විභාග කළ බුවනෙක අලුවිහාරේ, මූර්දු ප්‍රනාන්දු හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම තීන්දු ප්‍රකාශය නිකුත් කළේය.

පෙත්සම්කාර අතුරලියේ රතන හිමියන් වගඋත්තරකාර අපේ ජනබල පක්‍ෂයේ සාමාජිකයකු නොවන නිසා එම පක්‍ෂය සමග ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකළේ යැයි චෝදනා කරමින් පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එම පක්‍ෂයේ විනය කමිටුව 2021.10.15 වැනිදා ගෙන තිබූ තීරණය දැක්වෙන ලිපිය නීති විරෝධී වන්නේ යැයිද තීරණය කළ විනිසුරු මඬුල්ල එම ලිපිය නීතිය හමුවේ බලරහිත වන්නේ යැයිද තීරණය කොට තිබිණි.

අපේ ජනබල පක්‍ෂයේ, එහි මහ ලේකම් නිශාන්ත රත්නායක, සභාපති සමන් පෙරේරා, විජය ධරණී ජාතික සභාවේ මහ ලේකම් වසන්ත කීර්ති බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයන් හා එවකට පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය දැරූ ධම්මික රත්නායක මහතා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.

පෙත්සම්කාර අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් නීතිඥ දේශාන් විමලරත්න මහතාගේ උපදෙස් පරිදි නීතිඥ රුක්ෂාන් සේනාධීර, එස්. පළිහවර්ධන, එරංග තිලකරත්න යන නීතිඥ මඬුල්ල සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ වෙනුර කුලරත්න මහතා සමග ජනාධිපති නීතිඥ පර්මාග් කාසිම් මහතා පළමු සහ තෙවන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment