විශිෂ්ටයින් රැසක් බිහිකළ ගජබා රෙජිමේන්තුවට වසර 40යි

585

1987 වසරේ මැද භාගයේදී යාපනය අර්ධද්වීපය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයක් වන වඩමාරච්චි මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ 1 වන බලඇණිය හා 3 වන බලඇණිය ඉඳුරාම තම දායකත්වය ලබාදී යුද්ධ හමුදාවේ ධෛර්ය හා ශක්තිය උපරිම මට්ටමකට ගෙන ඒමට සමත් විය. මෙහිදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් සිටි එවකට කර්නල් විජය විමලරත්න ප්‍රථම වතාවට බල සේනාධිපති වරයකු වශයෙන් අණ දුන්නේය.

එදා තිස් වසරක් පැවති ත්‍රස්තවාදී ගිනිදැල් මානුෂීය මෙහෙයුමකින් නිවා දමා ජාතියට නිදහස් හසරැල් උදාකරදී මුළු ශ්‍රී ලංකාවම ඒකඡත්‍ර කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දැක්වූ දායකත්වය කෙතරම් දැයි කියා නිමකළ නොහැක. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිවලදී ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පුහුණු විනයගරුක ශ්‍රම බලකායක් ලෙසින් දැක්වූ දායකත්වය අතිමහත්ය. එසේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වනවිට ජාතියට ඉටු කරන්නේ සුළුපටු සේවයක් නොවේ. 1949 වර්ෂයේ දී ආරම්භ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වනවිට වසර 74ක් පුරාවට ශ්‍රී ලංකා මාතාවගේ අභිවෘද්ධිය සහ ස්වෛරීභාවය වෙනුවෙන් සේවය කර ඇත.

මෙලෙස සුවිශේෂී සේවාවක් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද වනවිට රෙජිමේන්තු 25 කින් සමන්විතය. ඒ රෙජිමේන්තු අතරින් සුවිශේෂීම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය ඔක්තොම්බර් 14 දිනට යෙදී ඇත.

ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂීම රෙජිමේන්තුවක් ලෙස හැඳින්වීමට ද හේතුවක් ඇත. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේත් ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන සැබෑ රණකාමීන්වීම නිසාය.

විශිෂ්ටයින් රැසක් බිහිකළ ගජබා රෙජිමේන්තුවට වසර 40යි

1983 වර්ෂයේදී 1 වන රජරට රයිෆල් බලඇණිය හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව එකාබද්ධ කර නව ඒකකයක් ස්ථාපනය කරන ලදී. මෙම බලඇණිය රජරට පුරාණ රජවරුන්ගේ රාජධානියෙහි පිහිටවූ බැවින්, ඒ සඳහා සුදුසු නාමයක් ලබාදීමේදී යුද්ධ ශිල්පයේ නිපුණ රණශූරයකු වූ “ඇතෙකුට සමාන ශක්තිමත් හස්තයක් ඇති” යන අරුත ඇති ලංකා ඉතිහාසයේ රණශුරත්වයෙන් කෙළ පැමිණි රජෙකු වූ ගජබා නරේන්ද්‍රයාණන්ගේ නාමයෙන් “ගජබා” නමින් නම්කොට, 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් 1983 ඔක්තෝම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටට එක්විය. මෙහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් එවකට ලුතිනන් කර්නල් විජය විමලරත්න පත්කරන ලදී. අරාලි තුඩුවේදී එල්.ටී.ටී.ඊ. ය විසින් ඇටවූ පීඩන බෝම්බයකට ගොදුරු වී ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟින් ජීවිතක්ෂයට පත් වූ මේජර් ජෙනරල් විජය විමලරත්න ගජබා රෙජිමේන්තුවේ පියා වශයෙන් පිදුම් ලබයි.

1983 ඔක්තෝබර් මස 14 වන දින 2 වන (ස්චේච්ඡා) රජරට රයිෆල් බලඇණිය හා 3 වැනි (ස්වෙච්ඡා) රජරට රයිෆල් බලඇණිය යන බලඇණි දෙක ඒකාබද්ධ කර ගොඩනඟන ලද 2/3 වැනි (ස්චේච්ඡා) රජරට රයිෆල් බලඇණිය දෙවැනි ස්වෙච්ඡා ගජබා රෙජිමේන්තුව නමින් ත්‍රිකුණාමලය ෆෙඩ්ඩ්‍රික් බලකොටුව තුළ ස්ථාපිත කරන ලදී.

ගජබා රෙජිමේන්තුව බලඇණියක් වශයෙන් උපත ලැබූවද, ගජබා සෙබළුන් ලෙස හඳුනා ගැනීම සඳහා සිරසක ලාංඡනයක් සහ උදෘත පාඨයක අවශ්‍යතාව ඇතිවූ බැවින් මෙම නව බලඇණිය වෙනුවෙන් සිරසක ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ රෙජිමේන්තුවේ නිර්මාතෘ එවකට ලුතිනන් කර්නල් විජය විමලරත්න ගේ සංකල්පයක් අනුව, උදෘත පාඨය වශයෙන් “සමගිය ශක්තියයි” යන්න භාවිතා කරන ලදී.

විශිෂ්ටයින් රැසක් බිහිකළ ගජබා රෙජිමේන්තුවට වසර 40යි

සිරස් ලාංඡනය සඳහා ගජබා රජු යුද්ධ කටයුතු සඳහා භාවිතා කළ කෙටේරිය, පළිහ සහ බෙහෙත් අඟ ඇතුළත් කර කලාත්මකව නිර්මාණය කිරීමෙන් අනතුරුව, සිරස් ලාංඡන පැළඳවීම 1984 මාර්තු මස 30 වන දින සාලියපුර කඳවුරේදී උත්සවාකාරයෙන් සිදුවිය.

1984 මැද භාගයේදී 1 වැනි ගජබා රෙජිමේන්තුව යාපනය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි සඳහා පිටත්ව ගොස් මූලස්ථානය පලාලි කඳවුරේ ස්ථානගත වූ අතර අනෙකුත් භට පිරිස් අනුඛණ්ඩ වශයෙන් යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශය ආවරණය වන පරිදි රාජකාරි භාරගන්නා ලදී.

තනි බලඇණියක් ලෙස යාපනය අර්ධද්වීපයේ හා කිලිනොච්චි ප්‍රදේශයේ පුරා රාජකාරි කළද 1 වැනි ගජබා රෙජිමේන්තුව නැවත රාජකාරි භාරදීමේදී එම රාජකාරි ආවරණය කිරීම සඳහා පාබල බලඇණි දෙකක් යෙදවීමට සිදුවිය. ඒ අනුව යාපනය ප්‍රදේශයේ තනි බලඇණියක් ලෙස රාජකාරි කළ අවසන් බලඇණිය වශයෙන් 1 වැනි ගජබා රෙජිමේන්තුව ඉතිහාස ගතවිය.

1985 පෙබරවාරි මස 13 වැනි දින කෝකිලායි අනු ඛන්ඩයේ රාජකාරින්හි යොදවා සිටි ගජබා භටපිරිස් හට ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ රාත්‍රී ප්‍රහාරයේදී එම ප්‍රහාරය වළක්වා ප්‍රහාරයට පැමිණ සිටි සියලු ත්‍රස්තවාදීන් විනාශ කිරීමට සමත් වූ අතර ත්‍රස්තවාදීන් විසින් ආර්.පී.ජී. අවි භාවිතා කරන බැව් ප්‍රථම වරට අනාවරණය වූයේ මෙහිදී අත්අඩංගුවට ගත් එම අවි වලිනි.

මෙහිදී අනුඛණ්ඩ භාර නිලධාරි වශයෙන් සිටි ලුතිනන් ආර්.පී.පී.එස්. විජේසිංහ ගේ නායකත්වය සහ අණදීම හමුදාවේ විශේෂ ඇගයීමකට ලක්විය. යුද්ධ හමුදා මූලස්ථානය විසින් ඔහු විසින් සතුරා අභිමුඛයෙහි දක්වන ලද රණශූරත්වය, නිර්භීත භාවය හා නායකත්වය අගය කීරිමක් ලෙස ලුතිනන් සිට කපිතාන් දක්වා ක්ෂේත්‍ර උසස්වීමක් ලබාදුන් අතර, පසුව රණශූර පදක්කමද පිරිනැමීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් නිලධාරියෙකු සතුරා අභිමුඛයේ දක්වන ලද වීරත්වය ඇගයීමක් ලෙස ක්ෂේත්‍ර උසසවීමක් ලැබූ ප්‍රථම නිලධාරිවරයා ලෙස කපිතාන් ආර්.පී.පී.එස්. විජේසිංහ යුද්ධ හමුදා ඉතිහාසයට එක්විය.

1985 ජූලි මස 20 වැනි දින 1 වන ගජබා රෙජිමේන්තුවේ 300 කින් පමණ සමන්විත භට කණ්ඩායමකට ක්‍රියාන්විතයේදී කුඩා කණ්ඩායම් යෙදවීමේ නව යුද්ධ උපක්‍රම භාවිතා කිරීම සඳහා සාලියපුර කඳවුරේදී පුහුණුවක් ලබාදුන් අතර පසුව ඔවුන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල වෙතින් ප්‍රතිත්‍රස්ත යුද්ධ උපක්‍රම පිළිබඳ විශේෂ යුද්ධ පුහුණුවක් හදාරා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහා විශේෂ සේවා කණ්ඩායම් ලෙස රාජකාරින්හි යොදවන ලදී. එවකට ලුතිනන් කර්නල් විජය විමලරත්න සෙන්පතිඳුන්ගේ දුර දක්නා නුවණ තුළින් බිහිකරන ලද මෙය, පසුව කණ්ඩායම් වශයෙන් ත්‍රිකුණාමලය, කිළිනොචිචිය හා වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි සිදු කරන ලද ක්‍රියාන්විතවලදී සතුරාට අමතක නොවන ප්‍රහාරයන් රැසක් දියත් කර ඇති වගට යුද්ධ ඉතිහාසය අදටත් සාක්ෂි දරයි.

1987 වසරේ මැද භාගයේදී යාපනය අර්ධද්වීපය බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද දැවැන්ත ක්‍රියාන්විතයක් වන වඩමාරච්චි මෙහෙයුම සඳහා ගජබා රෙජිමේන්තුවේ 1 වන බලඇණිය හා 3 වන බලඇණිය ඉඳුරාම තම දායකත්වය ලබාදී යුද්ධ හමුදාවේ ධෛර්ය හා ශක්තිය උපරිම මට්ටමකට ගෙන ඒමට සමත් විය. මෙහිදී 1 වැනි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් සිටි එවකට කර්නල් විජය විමලරත්න ප්‍රථම වතාවට බල සේනාධිපති වරයකු වශයෙන් අණ දුන්නේය.

වඩමාරච්චි මෙහෙයුම අවසානයේ නැවත සාලියපුර කඳවුරට පැමිණි ඒකක භටපිරිස් මෙහෙයුමේදී ත්‍රස්තවාදින්ගෙන් අත්පත් කරගත් බර අවි ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ සිට උඩමළුව දක්වා සරඹ පෙළපාලියකින් ගමන් කොට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වන්දනීය උත්තමාචාරය පිරිනමන ලදී. මෙම අවස්ථාවට විශාල ජනකායක් රැස්ව සිටි අතර ඔවුහු මල් මාලා පළඳවා භටපිරිස් වෙත උපහාර දැක්වුහ.

1990 වසරේ ජූනි මාසයේදී රජය හා බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ ඇති කරගත් සාම සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ යාපනය කොටුවේ ස්ථානගතවී සිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 6 වන බළඇණියට අයත් භටපිරිස් ත්‍රස්තවාදීන් විසින් වටලා සිටි අවස්ථාවේදී ත්‍රිවිධ බලය නමින් හමුදාමය ක්‍රියාන්විතයක් දියත් කරන ලද අතර ගජබා රෙජිමේන්තුවේ 1 වන බලඇණිය, 4 වන බලඇණිය හා 6 වන බලඇණියට අයත් භට පිරිස්ද මේ සඳහා දායක විය.

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ, රෙජිමේන්තු අධිපති හා යාපනය 21 වැනි බලසේනාධිපති ලෙස රාජකාරීන්හි නියුතුව සිටි එවකට බි්‍රගේඩියර් විජය විමලරත්න 1992 අගෝස්තු මස 08 වැනි දින යාපනය අරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන් විසින් අටවන ලද පීඩන බෝම්බයකට හසුවී රට වෙනුවෙන් දිවි පිදීම ගජබා රෙජිමේන්තු ඉතිහාසයේ ඉතා ශෝකජනක මතක සටහනක් එක්කළ සිදු වීමකි.

යාපනය නගරය හා අනෙකුත් ප්‍රදේශ ඇතුළු අර්ධද්වීපයම ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදවාගැනීම සඳහා දියත්කළ රිවිරැස මෙහෙයුමේදී සහ 1997 මාර්තු මස මුල් කාලසීමාවේදී ක්‍රියාත්මක කරන ලද ජයසිකුරු ක්‍රියාන්විතයට ගජබා රෙජිමේන්තුවේ සියලුම නිත්‍ය බලඇණි සහභාගි වූ අතර වව්නියාව නගරයේ ඕමන්තෙයි සිට පුලියන්කුලම්, කනගරායන්කුලම් හා මාන්කුලම් දක්වා ප්‍රදේශය මුදවා ගැනීමේදී පෙරමුණ ගෙන ක්‍රියාකොට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූහ. 2006 පළමුවරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා රාජකාරීන් සඳහා ගජබා රෙජිමේන්තුවට අයත් සියලු නිත්‍ය හා ස්වේච්ඡා බලඇණිවලින් සමන්විත වන සේ නිලධාරීන් 35 ක් සහ සෙසු නිලයන් 523 දෙනකුගෙන් සමන්විත සාමසාධක බලඇණියක් 2006 ජුනි මස 05 දා සිට 2006 දෙසැම්බර් මස 19 දින දක්වා හයිටි රාජ්‍යයේ රාජකාරීන් සඳහා පිටත්ව යන ලදී. 2007 ක් වූ ජනවාරි මස 16 දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධ හමුදා මූලස්ථාන සරඹ භූමියේදී ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුවට ප්‍රදානය කරන ලදී. ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ වඩමාරච්චි, ත්‍රිවිධ බලය, අකුණුපහර, ජයසිකුරු, සත්ජය, රිවිරුස ආදී වූ දැවැන්ත ක්‍රියාන්විතවලදී මෙන්ම නැගෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම්වලදී ගජබා රෙජිමේන්තු සාමාජිකයින් රණබිමේදී දක්වන ලද සුවිශේෂී වීර ක්‍රියාවන් ඇගයීමට ලක් කරමින් පරම වීර විභූෂණ පදක්කම් 04ක්, වීරෝධාර විභූෂණ පදක්කම් 03ක්, වීර වික්‍රම විභූෂණ පදක්කම් 65ක්, රණ වික්‍රම පදක්කම් 774ක්, රණශූර පදක්කම් 3829 ක්, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් 12ක්, උත්තම සේවා පදක්කම් 682 ක් වීරෝධාර ගජබා නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත ප්‍රදානය කර ඇත.

විශිෂ්ටයින් රැසක් බිහිකළ ගජබා රෙජිමේන්තුවට වසර 40යි

ත්‍රස්තවාදය මවිබිමෙන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා කාලසීමාව තුළ දියත් කරන ලද සියලුම ක්‍රියාන්විතයන් සඳහා සිය උපරිම දායකත්වය ලබාදී ඇති

ගජබා රෙජිමේන්තුවට අයත් සාමාජිකයන් අතරින් නිලධාරීන් 175 ක් සහ සෙසු නිලයන් 4075 දෙනකු මව්බිමේ නිදහස වෙනුවෙන් සිය ජීවිතය පුද කර ඇති අතර නිලධාරීන් 180 ක් සහ සෙසු නිලයන් 4030 දෙනකු එහිදී රණක්ෂිතයට පත්ව ඇත. එවන් කැපකිරීමක් කරන්නට වෙනත් කවුරුන් හෝ මේ මව්බිම තුළ බිහිව නැත. ඒතරම්ම ගජබා විරුවන් මව්බිම වෙනුවෙන් කැපකිරීම් කර ඇත. ඒ ඔවුන්ගේ විශිෂ්ටත්වයයි.

  • දිලංක ගුණතිලක
advertistmentadvertistment
advertistmentadvertistment