වත්මන් සමාජය තුළ ඔබේ දරුවා සුරක්ෂිතද?

207
වත්මන් සමාජය තුළ බොහෝ ළමුන් අපචාරයට ලක්වන්නේ පවුලේ හිතවතුන් හෝ ඉතාමත් ළඟින් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන් අතිනි. ළමා සුරක්ෂිතභාවය ලෝකය තුළ තහවුරු කිරීමේදී දෙමාපියන් වෙත වැඩි වගකීමක් ලැබේ. දරුවකුගේ කායික, මානසික යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ට අවශ්‍ය ආදරය, දයාව, කරුණාව සහ උණුහුම ලබා දීම දෙමාපියන්ගේ වගකීමකි. ළමයා සහ දෙමාපියන් අතර සමීප සබඳතාවක් නොතිබීම ළමා සුරක්ෂිතභාවය ගිලිහී යෑමට ප්‍රධාන හේතුවක් වේ.

පසුගිය ඔක්තෝබර් (01) වන දින ලොවටම ඇසෙන්නට පෙනෙන්නට ලෝක ළමා දිනය සමරන ලදී. අති උත්කර්ෂවත් අයුරින් ලෝක ළමා දිනය සැමරුවද වත්මන් සමාජය තුළ ළමයාගේ සුරක්ෂිතභාවය අභියෝගයට ලක් වී ඇති අයුරු හඳුනාගත හැකිය. ළමයා යනු සමාජයක් තුළ පවතින තීරණාත්මක සාධකයකි. වයස අවුරුදු (18) ට අඩු ගැහැනු සහ පිරිමි අයෙකු ළමයෙකු වශයෙන් හඳුන්වනු ලබයි.

වත්මන් ලෝකය තුළ ළමා ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක් පැන නැගී තිබීම අද ඛේදනීය තත්ත්වයක් බවට පත් වී ඇත. දිනෙන් දින වැඩි වන ළමා හිංසන, ළමා අපයෝජන එයට හේතු වේ. වයස අවුරුදු 18ට අඩු පිරිමි හෝ ගැහැනු ළමයෙකු සිය කැමැත්ත ඇතිව හෝ නැතිව යම් ආතතියකට, කායික හෝ මානසික වශයෙන් ලිංගික හානියකට ලක් කිරීම ළමා අපයෝජනයක් වේ. වත්මන් සමාජ කුටුම්භය තුළ ළමයාගේ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු රැසක් ඇති වීමට බලපා ඇති සුවිශේෂී හේතු ගණනාවක් හඳුනාගත හැකිය. නූගත්කම, මාපියන් විදෙස්ගත වීම්, නිවසෙන් දුර බැහැරක දෙමාපියන් රැකියා කිරීම, මාපිය ගැටුම්, මාපියන් වෙන්වී සිටීම, අසමගිය, අඩදබර, විකෘති කාමාතුරයන් සමාජය තුළ මතු වීම සහ මාධ්‍යය ඒ සඳහා දක්වන අනුකූලතාවය, මත්ද්‍රව්‍ය භාවිතය සහ අසීලාචාර අපයෝජන සිදු කරන්නන්ට නීතිමය දඬුවම් ප්‍රමාණවත් නොවීම එම හේතු අතරින් කිහිපයකි.

අතීත සමාජ ක්‍රමයන් තුළ ළමයින් වහල් සේවයේ යොදවා ඇති අතර ළමයාට නිසි වටිනාකමක් ලබා දීමක් එම සමාජ ක්‍රමයන් තුළ දක්නට නොලැබේ. එහෙත් සමකාලීන සමාජය තුළ ළමයාට සුවිශේෂී වටිනාකමක් හිමි වී තිබුණ ද ඔවුන් සඳහා සුරක්ෂිත පරිසරයක් බිහි කිරීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත. අතීතයේ දී දරුවන් දෙමාපියන් සමීපව හැදී වැඩුණ ද තාක්ෂණයේ දියුණුවත් සමඟ එම තත්ත්වය වෙනස් විය. විවිධ විද්‍යුත් මාධ්‍ය භාවිතයට හුරු වීම මගින් ළමුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, චර්යා පාලනයට ලක් වීමක් සිදු වී ඇති බව දැකගත හැකිය. සමකාලීන සමාජය තුළ ළමයාගේ සුරක්ෂිතභාවය අඩු වීමට එයද ප්‍රබල වශයෙන් බලපා ඇත.

වත්මන් සමාජය තුළ බොහෝ ළමුන් අපචාරයට ලක්වන්නේ පවුලේ හිතවතුන් හෝ ඉතාමත් ළඟින් ආශ්‍රය කරනු ලබන පුද්ගලයන් අතිනි. ළමා සුරක්ෂිතභාවය ලෝකය තුළ තහවුරු කිරීමේදී දෙමාපියන් වෙත වැඩි වගකීමක් ලැබේ. දරුවකුගේ කායික, මානසික යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ට අවශ්‍ය ආදරය, දයාව, කරුණාව සහ උණුහුම ලබා දීම දෙමාපියන්ගේ වගකීමකි. ළමයා සහ දෙමාපියන් අතර සමීප සබඳතාවක් නොතිබීම ළමා සුරක්ෂිතභාවය ගිලිහී යෑමට ප්‍රධාන හේතුවක් වේ. මෙම තත්ත්වය මඟහරවා ගනිමින් ළමයාට ජීවත්වීමට සුදුසු සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට නම් දෙමාපියන් දරුවා සමඟ අන්‍යොන්‍ය සමීප සබඳතාවක් පවත්වා ගැනීම වැදගත් වේ. දරුවා සමඟ විවෘතව කතා බහ කරමින් දරුවා තුළ දකින වෙනස්කම් හඳුනා ගනිමින් අවධානයෙන් යුතුව කටයුතු කිරීමට වගබලා ගැනීම වැදගත් වේ. සමාජීය වශයෙන් ජීවත්වීමේදී ළමයෙකුට මුහුණ දීමට සිදු වන අනාරක්ෂිත සිදුවීම් පිළිබඳව නිසි අධ්‍යාපනයක් පවුල තුළින් ඔබේ දරුවාට ලබා දීමට කටයුතු කිරීම මගින් සමාජය තුළ ළමා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අවස්ථාව උදා වේ.

ළමා සුරක්ෂිතභාවය පිළිබඳ වගකිව යුතු සියලුම පාර්ශ්වයන්ගේ මැදිහත්වීම ප්‍රභලව ලබා දෙමින් ළමයින් සඳහා සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමට උත්සාහ ගැනීම සමාජ වගකීමකි. එවිට මල් කැකුළුවන් ඔබේ දරුවන් සුරැකීමට ඔබට අවස්ථාව උදා වනු ඇත. පුංචි මල් කැකුළුවන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අනාගත සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමේ ජාතික කර්තව්‍යයට තරුණ වැඩිහිටි ඔබ සියලු දෙනාගේ දායකත්වය ලබා දෙමු.

ජේ. ඒ. කසුනි සසිකලා මධුෂානි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment