දරුවන් රකින යුද්ධය සාමයයි

962

ඊශ්‍රායලය, පලස්තීනය, හමාස්, ඉස්ලාම් හෝ වෙනයම් කුමක් හෝ වේවා දරුවන් ඉන් පීඩා විඳින්නේ නම් මිනිස් වර්ගයාට යුද ගැටුමකින් ලැබෙන ජයග්‍රහණයක් කුමන ආකාරයේ එකක් දැයි කියා අප නම් දන්නේ නැත. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඉතා දරුණු ගණයේ ගැටුම් ඇවිලෙමින් පවතින අතරේ ඉන් මරුමුවට පත් වූ ගණන දහස් ගණනක් වී හමාරය. ඒ අතරේ මල් වැනි කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් සිටීම ලෝක මාතාව කෙසේවත් නුහුලන්නකි. ලොව බිහිවී ඇත්තේ මවගේ කිරෙන් සහ හිරුගේ රැස්වලිනුත් නම් ඒ බිහිවූ ලෝකය තුළ දරුවන් අනාරක්ෂිත කිරීම මනුසත්කම අගයන කිසිදු මිනිසෙකුට අයත් කාර්යයක් නොවේ.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට සිය මහා පරිමාණ විස්මිත ප්‍රහාරය දියත් කළේ පසුගිය සෙනසුරාදා දිනදීය. එහිදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කිරීම හෝ ඔවුන් මරා දැමීම වැළැක්වීමට අල් කසාම් බළකායේ ඉහළ අණදෙන නිලධාරීන්ගෙන් පැහැදිලි උපදෙස් ලැබී තිබුණා යැයි හමාස් නිලධාරියකු පවසා තිබුණේය. එහෙත් දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් ප්‍රදේශයක් වන Kfar Aza හි, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සීඑන්එන් වෙත පැවසුවේ, සටන්කාමීන් කාන්තාවන්, ළමුන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් ISIS ක්‍රියාමාර්ගයකින් කුරිරු ලෙස ඝාතනය කරන ලද ආකාරයේ සංහාරයක්” සිදු කළ බවයි. ඊට අමතරව කුඩා ළමුන් තවත් තැනක මෙච්චරක් ඝාතනය වූ බවට වාර්තා පළවිය. යුද්ධයකදී මුලින්ම ඝාතනය වනුයේ සත්‍යයයි. යුද්ධයෙහි නිරතවූවන් සහ ඊට පක්ෂපාතීහු ප්‍රතිවිරුද්ධවාදීන්ගෙන් සිදුවන ප්‍රහාර හෝ යුද්ධයට හේතු වූ කාරණා පිළිබඳ සත්‍යය යටපත් කරති. යුද්ධයකදී ළමුන් මෙන්ම කාන්තාවන් දැඩි තර්ජනයකට ලක්වේ. ආයුධ අත නැති එම දෙපාර්ශ්වය අවසනදී අන්ත අසරණ වී කාත් කවුරුත් නැතිවුන් බවට පත්වේ. අපේ රටේ පැවැති යුද්ධයෙන්ද එම පිරිස විඳි දුක් කරදර අප අත් දැක්කේය. පීතෘ මූලික පවුල් ඒකක වෙනුවට මව මූලික පවුල් දහස් ගණනක් අපේ රටේ තිබේ. යුද්ධය නිසා උපන් අනාරක්ෂිත භාවයෙන් අප ජාතියක් ලෙස දශක තුනක් බැට කෑවේය.

එහිදී අසරණ වූ ළමා පරපුර අදටත් මානසික පීඩාවට යටත් වී සිටී. කිසිවක් නොදන්නා අසරණ දරුවන්ට දෙමාපියන්ගේ සෙනෙහස, රැකවරණය නොලැබූ කල රටක් සිය අනාගතය දිනන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි. දේශපාලන නායකයෝ හමුදා ප්‍රධානීහු යුද්ධයක් නිසා සිය නාමයන් ලෝක ඉතිහාසයේ ලියා ගනිති. එහෙත් ඉන් පීඩාවට පත්වූ දරුවන් ගැන කෙසේ ලියැවෙයිද? එසේ ලියවුණා කියා ඔවුනට පළක් ද නැත. කුමන ජාතියකට අයත් වුවද මුළු මහත් මිනිස් වර්ගයාට ඇත්තේ රක්ත වර්ණ ලේ ය. සියලු දෙනාට බඩගිනි දැනේ. අප උපදින විට ජාතියක් ගැන ආගමක් ගැන නොදනී. එහෙත් ඒවා ගැන කුලල් කා ගනිමින් යුද්ධ කර ගැනීම මිනිස් වර්ගයාට නොගැළපෙන්නකි. මිහි මත සිටිනා සියලුම දෙමාපියන් සිය දිවි හිමියෙන් උත්සාහ කරනුයේ ලොව ඇති හොඳම දේ දරුවන් වෙත දීමටය. නමුත් කුමන හෝ එදිරිවාදිකමක් අරබයා යුද වැදීමෙන් දරුවන්ට අත්වන වාසියක් තිබේද? මේ වන විටත් ගාසා තීරය එකම යුද පිටියක් වී අවසන්ය. අප සිටින්නේ ගාසා තීරයෙන් එහා ය. යුද්ධය අවසන් ය. සාමය ඇත්තේය. එහෙත් අප හදවත් තුළ එකී සාමය ස්ථාපිත වී ඇත්තේ ද? අප අදටත් යුද්ධයේ ණය ගෙවමින් සිටිමු. ඒ ආර්ථික අතින් ම පමණක් නොව අප රට භාර ගනී යැයි සිතූ උගතුන්, වෘත්තිකයන් අද රට හැර යමින් සිටී. එදා ළමා අවධියෙහි වූ අද තරුණ පරපුර ද කුමන හෝ රටකට පැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටී.

එසේ නම් යුද්ධයකින් භූමිය අත්පත් කර ගැනීම කිසි පළ ප්‍රයෝජනයක් ඇති දෙයක් දැැයි බොහෝ දෙනා විමසන්නේ මේ නිසා විය හැකිය. අප රටට නම් ආයෙත් යුද්ධයක් කොහෙත්ම අවශ්‍ය වන්නේ නැත. එලෙසින්ම ලෝකයටද යුද්ධයක් අවශ්‍ය නොවේ. ඇත්තටම මිනිසාට අවශ්‍ය වන්නේ ලෝක සාමය සහ විවිධ ජාතීන් සහ රට රටවල්වල ඇති අත්දැකීම් වෙනස්කම් බෙදා ගැනීමය. ඒ ඒ රටවල් වල සම්පත් සම සේ වෙනත් රටවල සම්පත් සමග බෙදා ගැනීමය. කොටින්ම කියතහොත් අද අප ලෝකයට බෙදා දෙන නිදහස සහ ආදරය මගින් සුපෝෂණය කරනුයේ අනාගත පරපුරය. එම පරපුර ඊළඟ පුරුක් දක්වා එය සම්ප්‍රේෂණය කරවා ගත යුතුය. අපට දැනුත් යුද්ධයක් අවශ්‍ය නැත. අනාගතයේදීත් අවශ්‍ය නොවේ. ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ දේශපාලන කතාවද මේ මොහොතේ නැවත සිහියට නගා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment