නිදොස් කොට නිදහස් කෙරූ සිද්ධික් ඉන්දියාවේදී කොටුවෙයි!

610

ඉන්දියානුවෙක් ලෙස වෙස්වලාගෙන ඉඳලා

මහ පරිමාණ මත් කුඩු ජාවාරමක්

ඕමානයේ අබුඩාබි දේශසීමාවේ බුද්ධි පොලිස් මෙහෙයුමක්!

මොහොමඩ් සිද්ධික් මරදාන ටවර් රඟහල අසලින් ම ඇතුළට විහිදෙන පටු මාර්ගය කෙළවර පිහිටි වත්තේ පදිංචිකරුවෙකි. උපන් දා සිට ගෙන්දගම් පොලොවේ පය ස්පර්ශ කිරීමේ අවස්ථාව ලද ඔහු තරුණ වියට එළඹෙද්දීම හැමවිටම සිත යොමු කළේ කෙසේ හෝ කීයක් හරි අත මිට මොලවා ගැනීමේ කටයුත්තකට අත ගැසීමටයි. 90 දශකයේ මැද භාගය වන විට හෙරොයින් ජාවාරම කොළඹ නගරය තුළ හිස ඔසවමින් සිටි කාලයයි. පෑලියගොඩ සිට ඔරුගොඩවත්තේ “තමිල්නාඩුවට” සංක්‍රමණය වී සිටි එම්. වාප්පු බාලන් නොහොත් “තෙල්බාලා” සහ බොරැල්ලේ ගෝතමී පාර සිය රජදහන කරගෙන සිටි උපාලි රංජිත් නොහොත් “සොත්ති උපාලි” ඒ කාලයේ මත්ද්‍රව්‍ය ලෝකයේ කිරුළු පලන් රජවරුන් ලෙස අභිෂේක ලබා සිටියේය.

මොහොමඩ් සිද්ධික්ගේ වැඩිමහල් සොයුරු අෂ්රොෆ් මේ වකවානුවේ හොරොයින් ග්‍රෑම් 50 ක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටු විය. සිද්ධික් මෙන්ම අෂ්රොෆ් ද මරදාන ප්‍රදේශයේ කුඩු ජාවාරමේ ප්‍රධාන පුද්ගලයන් හැටියට කටයුතු කළේය. අෂ්රොෆ් අත්අඩංගුවට ගැනීමට පොලිසියට ඔත්තු දුන්න අය ලෙස සිද්ධික් සැක කළේ ටවර් රඟහල අසල පදිකවේදිකාවේ වාහන කණ්ණාඩි විකුණන තරුණයෙකි. තොටලඟ ප්‍රදේශයේ පදිංචිව සිටි “නසූර්” නමැති කුලී ඝාතකයකු ලවා මහ දවල් එම තරුණයාව මරදානේ ටවර් රඟහල ආසන්නයේදීම වෙඩි තබා ඝාතනය කිරීම සිද්දික්ගේ මෙහෙයවීම මත සිදු වූයේ සිය සොහොයුරා අත්අඩංගුවට ගැනීමට ඔත්තු සැපයීම වෙනුවෙන් ලබා දෙන දඬුවමක් ලෙසයි. පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරමින් ඝාතකයා කොටු කර ගැනීමට කටයුතු කරන විට සිද්ධික් සිය මිතුරු උසස් පොලිස් නිලධාරියකු (මෙම නිලධාරියා පසුව නුගේගොඩ ප්‍රදේශයේ සිදුකළ ඉඩම් වංචාවක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන ලදී) සමඟ සාකච්ඡා කර ඔහු යටතේ සේවය කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයකු පිස්තෝලයක් සමග මෙම මරණයට වගකිවයුතු ඝාතකයා ලෙස පොලිසියට ඉදිරිපත් කළේ සැබෑ ඝාතකයා සඟවමිනි. මෙයින් ඔහු බලාපොරොත්තු වූයේ සැබෑ කුලී ඝාතකයා පොලිසියට කොටු වුවහොත් ඝාතනය සම්බන්ධව මහමොළකරු ලෙස කටයුතු කළ ඔහුගේ නම ඝාතකයා විසින් පොලිසියට හෙළිදරව් කිරීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙසයි.

මෙම ඝාතනයේ සැබෑ තත්ත්වය සහ ඝාතනය සිදුවූ ආකාරය පෞද්ගලික ඔත්තුකරුවකු විසින් එවකට පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි මා වෙත හෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තොටලඟ ප්‍රදේශයේ පදිංචි සිටි ඝාතනයේ සැබෑ ඝාතකයා වූ “නසූර්” මා විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය සඳහා උපයෝගි කරගන්නා ලද නියම පිස්තෝලය ද සමඟයි. අපරාධකරු ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සිදුකළ ආකාරය සහ එම ඝාතනය සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දුන් සිද්ධික් සම්බන්ධව ඔහු විසින් හෙළි කරනු ලැබූ අතර මෙම ඝාතනයේ ප්‍රධාන මහමොලකරුවූ සිද්ධික් අත්අඩංගුවට ගැනීමට අප විසින් කටයුතු කරමින් සිටියදී ඔහු මෙරටින් ඉන්දියාව වෙත පලා යෑම ගියේය.

නිදොස් කොට නිදහස් කෙරූ සිද්ධික් ඉන්දියාවේදී කොටුවෙයි!

මේ වකවානුව වන විට සිද්ධික් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන පුද්ගලයන් ලෙස සැලකෙන පාකිස්තානු ජාතිකයන් කිහිප දෙනකු සමග සම්බන්ධකම් ඇති කරගෙන සිටි අතර ඔහු ඉන්දියාවට පලා යෑමෙන් පසුව දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටිමින් මෙම පකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් චෙන්නායි සිට තූත්තුකුඩිය හරහා වයඹ මුහුදු තීරය ඔස්සේ බෝට්ටු මගින් මෙරටට හෙරොයින් සැපයීමේ කාර්යයෙහි දිගටම නිරතව සිටියහ. 90 දශකයේ අග භාගයේදී ඉන්දියානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ කීර්තිමත් නිලධාරියකු ලෙස සැලකෙන පොලිස් අධිකාරි “ශංකර් දිවාල්” විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් විස්සක් සමඟ මොහොමඩ් සිද්ධික්ව චෙන්නායි හිදී අත්අඩංගුවට ගනු ලැබූහ. නඩු විභාගයකින් පසුව චෙන්නායි මහධිකරණය විසින් මොහොමඩ් සිද්ධික්ට මෙම මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධව ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ඔහු දකුණු ඉන්දියාවේ සෙයිලම් බන්ධනාගාරයේ සිරගත කළහ.

“සෙයිලම්” බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී සිද්ධික් බන්ධනාගාරයෙන් පලායෑමේ සැලසුමක් සකස් කරමින් සිටින බවටත් ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් ලෙස ලබා දීම සඳහා විශාල මුදලක් ශ්‍රී ලංකාවේ සිට “උණ්ඩියල්” ක්‍රමයට ඉන්දියාවට රැගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවටත් මා වෙත ඔත්තුකරුවකු මගින් දැනගැනීමට ලැබුණි. ඒ අවස්ථාවේම මම ලංකාවේ කොළඹ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරයා මුණගැසී මේ සියලු තත්ත්වයන් ඔහු වෙත ලිඛිතව වාර්තා කිරීම සිදු කරනු ලැබූහ. එහෙත් ඉන්දියානු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සිද්ධික් ක්‍රියාත්මක වුණා. සෙයිලම් බන්ධනාගාරයේ සිට ඔහුට වැළඳී තිබූ අසනීපයකට ප්‍රතිකාර ලබාගැනීමේ මුවාවෙන් අසල පිහිටි රෝහලකට රැගෙන යන අවස්ථාවේ ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පැන ගොස් කෙටි කාලයක් දකුණු ඉන්දියාවේ සැඟවී සිට ඔහුට සුපුරුදු හෙරොයින් ප්‍රවාහනය කරන මුහුදු මාර්ගය වූ තූත්තුකුඩිය ඔස්සේ බෝට්ටුවක් මගින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

ශ්‍රී ලංකාවට පැමිණි සිද්ධික් පිළියන්දල කටුවාවල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් සහ ප්‍රාඩෝ වර්ගයේ අලුත්ම ජීප් රථයක් මිලදී ගෙන රෙදි බිස්නස් කරන ව්‍යාපාරිකයකු සේ පෙනී සිටිමින් නැවතත් සුපුරුදු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට අවතීර්ණ වූහ. සිද්ධික් ගේ අලුත් ජීවිතය සම්බන්ධ ඔත්තුකරුවකු මගින් දැනගත් මා 2003 පෙබරවාරි මස 06 වන දින පිළියන්දලදී සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයකින් ගමන් කරමින් සිටි සිද්ධික් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් පිස්තෝල දෙකක් සහ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත්හ. සිද්ධික් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට උද්ධර්පනය කර ඔහුට චෙන්නායි මහධිකරණය විසින් පනවා තිබූ සිරදඬුවමට යටත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් දියත් කර සිටියත් උද්ධර්පන නීතිය සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ඇති සංකීර්ණ භාවය හේතුවෙන් එම කාර්යය හරිහැටි ඉටු කර ගැනීමට අපට නොහැකි විය. ඒ අතරතුර මර්වින් සිල්වා අමාත්‍යවරයා කැළණිය ආසන සංවිධායක ධුරයට පත්වූ අතර ඔහු ඉටුකළ ප්‍රමුඛතම කාර්යය වූයේ ප්‍රාදේශීය අපරාධ මෙන්ම දූෂණ මර්දනය සම්බන්ධයෙන්ද විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටි පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා වූ මා ශ්‍රී ලංකා පොලිසියේ “දඬුවම් සංචිතය” ලෙස සැලකෙන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත ස්ථාන ගාල් කිරීමයි. මෙම සිද්ධිය හේතුවෙන් සිද්ධික් ඉන්දියාවට උදර්පණය කිරීමේ වැඩපිළිවෙළද ඇනහිටි අතර ඔහු විශාල මුදලක් නීතිඥ ගාස්තු ලෙස වැය කර මහාධිකරණය මගින් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනාවලට ඇප ලබාගෙන නැවතත් මෙරටින් පළාගොස් අතුරුදන් වුණා.

මෙම සිද්ධියෙන් පසු සිද්ධික් නැවත කරළියට පිවිසෙන්නේ 2011 වර්ෂයේ පමණ විශේෂ කාර්ය බළකාය ඔහු විසින් පකිස්ථානයේ සිට මෙරටට එවූ බවට සැක කෙරෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ අසූවක් අත්අඩංගුවට ගැනීමත් සමගයි. මෙම සිද්ධියෙන් පසුව මොහොමඩ් සිද්ධික් පකිස්තානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඉතා කෙටි කලකින් ඔහුව ශ්‍රී ලංකාවට භාරදීමට පකිස්තානු පොලිසිය විසින් ක්‍රියා කරනු ලැබූහ. ශ්‍රී ලංකාවට රැගෙන ආ මොහොමඩ් සිද්ධික් ට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර ඔහුට විරුද්ධව විභාගවෙමින් තිබූ පැරණි නඩු නැවත ආරම්භ කිරීමද සිදුකළහ. විවිධ නීතිමය හේතූන් මත මෙම මහාධිකරණ නඩු විභාගයන් දිනෙන් දින කල් යමින් පැවති අතර, මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත් සිද්ධික් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ ඇප අයැදුම් පත්‍රයක් මගින් නැවතත් ඇප ලබාගෙන සුපුරුදු පරිදි මෙරටින් පළා ගොස් නැවත අතුරුදන් වූහ.

එසේ අතුරුදන් වූ සිද්ධික් නැවත මතුවන්නේ පසුගියදා ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් ඕමානයේ මස්කට් නුවර රැඳී සිටියදී ඔහු ඕමාන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟයි. මෙම අත්අඩංගුවට ගැනීම ඉන්දියානු බුද්ධි සේවා නිලධාරීන් ලබාදුන් තොරතුරු මත සිදුකරන ලද්දක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් නීතිය හමුවේ කට්ටි පනිමින් සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මොහොමඩ් සිද්ධික් නැවත අත්අඩංගුවට පත්ව තිබේ. මේ අවස්ථාවේ සිදු කළ හැකි පහසුම ක්‍රියාමාර්ගය වන්නේ මෙම අපරාධකරු ඕමානයේ සිට ඉන්දියාවට උදර්පණය කර ඉන්දියාව විසින් ඔහුට ලබා දී ඇති ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමයි. මෙම සිද්ධිදාමය අලලා ඉන්දියානු බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත ද පැවරෙන වගකීම ඉතා විශාලයි. සමාජයට පිළිලයක් වන මෙවැනි ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවිල් සමාජයෙන් ඉවත් කර මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කිරීමේ ප්‍රබල වගකීම මෙම බලධාරීන් වෙත පැවරී ඇත.

මේ වන විට සිද්ධික් මෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන තවත් ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට අවශ්‍යය අපරාධකරුවන් ලෙස සැලකෙන “ගනේමුල්ල සංජීව” සහ “ගොත අසංකද” නේපාල බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධ සිදුකර මෙරටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ වෙනත් රටවල සැඟවී සිට එම අපරාධ ජාලය මෙහෙයවීමේ යෙදෙන අපරාධකරුවන් සම්බන්ධව පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා පළ වූහ. මෙසේ පලා ගොස් විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් සම්බන්ධව දිගින් දිගටම සොයාබැලීමේ ක්‍රියාමාර්ගයක් දියත් කර එම රටවල විදේශ කටයුතු අමාත්‍යාංශ, නීතිපති දෙපාර්තමේන්තු, සහ පොලිසිය සමඟ පවත්වනු ලබන කිට්ටු සම්බන්ධතා මගින් මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගෙන මෙරටට රැගෙන ඒමේ වගකීම ශ්‍රී ලංකාවේ බලධාරීන් සතුව පවතින ප්‍රබල අභියෝගයකි.

ප්‍රියන්ත ජයකොඩි
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

advertistmentadvertistment
advertistmentadvertistment