අවුරුදු හැටේ පෙම්වතිය රවටා ලක්ෂ ගණන් මුදල් ගැරූ තරුණ පෙම්වතා…

1997

සුසිලා මොරටුව ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවකි. වයස අවුරුදු 60 කි. නිවසේ තනියම ජීවත් වන ඇය පේ‍්‍රමයෙන් පරාද වූ තැනැත්තියකි. තරුණ වයසේදී පටන් ගත් පේ‍්‍රමය බිඳ වැටීම නිසා ඇය අවිවාහකව ජීවත් වීමට තීරණය කළාය. ආදරයෙන් පැරදුනත් ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළාය.

සැඳෑ සමය ගත කරන ඇය කලක සිට ජීවිතයේ තනිකම, පාළුව කාන්සිය මකා ගැනීම සඳහා ෆේස්බුක් භාවිතයට පුරුදු වී සිටියාය. මිතුරු මිතුරියන් කිහිප දෙනකු ඇසුරු කළත් ඇය දවසේ වැඩිපුර පැය ගණනක් මිඩංගු කළේ ඒ සඳහාය. ඒ අතර ෆේස්බුක් හරහා දැන අඳුනගත් කිහිප දෙනකු සමගද ඇය දිනපතාම සුවදුක් හුවමාරු කරගත්තාය.

මාස කිහිපයක සිට උපුල් නමැති ෆේස්බුක් මිතුරෙකු ඇය සමඟ නිතරම කෙටි පණිවිඩ මගින් අදහස් හුවමාරු කරගත්තේය. එම පුද්ගලයා දිනක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ මැසෙන්ජර් එකට මෙලෙස පණිවුඩයක් තැබුවේය.

‘‘මාස කිහිපයක ඉඳන් අපි එස්. එම්. එස්. වලින් පණිවුඩ හුවමාරු කරගන්නවා විතරයි. ඔයා හොඳ කෙනෙක් කියලා තේරෙනවා. ඒක නිසා මම ආසයි ඔයත් එක්ක කතා කරන්න. මගේ හැම විස්තරයක්ම ඔයාට කියන්න. වරදවා මං ගැන හිතන්න එපා. ඔයා කැමතිනම් විතරක් අපි කතා කරමු.”

සුසිලාගේ සිතේ ද එම පුද්ගලයා පිළිබඳව මැවී තිබුණේ යහපත් චිත‍්‍ර රූපයකි. එම නිසා ඔහුගේ ඉල්ලීම අහක දැමීමට ඇය කිසිසේත් කැමති වූයේ නැත. ඒ අනුව ඇය ඔහුට මෙලෙස කෙටි පණිවිඩයක් තැබුවාය.

‘‘ඇයි මම ඔයා ගැන වැරදියට හිතන්නෙ. ඔයා ඕන වෙලාවක මට කෝල් කරන්න.”

එම කෙටි පණිවුඩය දුටු විගසම උපුල් මැසෙන්ජර් හරහා ඇමතුමක් ලබා ගෙන ඇය සමඟ මෙලෙස කතා බස් කළහ.

‘‘හෙලෝ සුසිලා මම උපුල්.”

‘‘ඔව් මම දන්නවා. ඉතින් කොහොමද උපුල්.”

‘‘මම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද ?”

‘‘මමත් හොඳින් ඉන්නවා.”

‘‘මෙච්චර කල් අපි එස්. එම්. එස්. වලින් විතරයිනේ දැන හැඳින ගත්තේ. මට හිතුනා ඔයත් එක්ක කතා කරන්න.”

‘‘ඒකනේ. ඉතිං කියන්න ඔයා ගැන විස්තර.”

‘‘ඔයා දන්නවනේ මම රට ඉන්නේ කාලේක ඉඳන්. ඒ වගේම මම අවිවාහකයි.”

‘‘එහෙනම් ඔයා වගේම තමයි.”

‘‘ඇත්තටම ඔයත් මැරි කරලා නැද්ද?”

‘‘නැහැ ඇත්තටම නැහැ.”

‘‘ඇයි අනේ තවමත් ලස්සනට ඉන්නවා. මැරි කළේ නැත්තේ.”

‘‘ඒක ලොකු කතාවක්. මම කැමති නැහැ දැන් ඒ ගැන මතක් කරනවාටත්.”

‘‘සමාවෙන්න. මම ඔයාගේ හිත රිද්දුවා නම්.”

‘‘නැහැ ඔයා මගේ හිත රිද්දුවේ නැහැ. මම කිව්වේ මගේ හිතේ තියෙන දේ. ඒ ගැන ඔයා කලබල වෙන්න එපා.”

‘‘හරි අපි ඒ ගැන කතා නොකර ඉමු.”

‘‘ඒක නෙවෙයි මම ඔයාගෙන් ප‍්‍රශ්නයක් අහන්නද?”

‘‘ ඕන දෙයක් අහන්න සුසිලා. මම අවංකවම උත්තර දෙනවා.”

‘‘ඇයි ඔයා කසාද බැන්දේ නැත්තේ.”

‘‘ඒකත් ලොකු කතාවක්. මම කෙටියෙන් කියන්නම්. ඔයා අහගෙන ඉන්න කැමතිනම්.”

‘‘ඔයාට ප‍්‍රශ්නයක් නැත්නම් කියන්න. මම අහගෙන ඉන්න කැමතියි.”

‘‘මම රට එන්න කලින් ඉඳලා ගැහැනු ළමයෙකුට ආදරය කළා. මම එයාට ආදරේ කළේ හදවතින්මයි. එයා වෙනුවෙන් මම නොකළ දෙයක් නැහැ. අපි බඳින්නත් දින වෙන් කරගෙන හිටියේ. ඒත් එකපාරටම එයා වෙනස් වුණා. ගහෙන් ගෙඩි එන්න වගේ අපේ සම්බන්ධය එයා නවත්තලා දැම්මා.”

‘‘මොකද එහෙම වුණේ. ඔයා ඒගැන හොයලා බැලූවෙ නැද්ද ?”

‘‘ඇයි නැත්තෙ. මම නොකා නොබී සති කිහිපයක්ම ඒ ගැන හෙව්වා. අන්තිමට තමයි මට ඒ ගැන දැනගන්න ලැබුණේ. එයාට සල්ලි තියෙන ෆැමිලි එකකින් යෝජනාවක් ඇවිල්ලා. සල්ලි වලට තියෙන ආසාවට එයා ඒ යෝජනාවට කැමතිවෙලා.”

‘‘ඒ කතාව ඇහුවම ඔයා ගැන දුක හිතෙනවා මට. ඉතින් ඔයාට වෙන කෙනෙක් හොයාගන්න තිබුණනේ.”

‘‘ඒ සිද්ධියත් එක්ක ගැහැනු ගැන මගේ සිතේ ලොකු කළකිරීමක් ඇති වුණා. ඒ අනුව මම තීරණය කළා කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා.”

‘‘එහෙනම් ඔයාටත් මට වගේම දෙයක් වෙලා තියෙන්නේ. මගේ කතාව මම පස්සේ දවසක කියන්නම්.”

‘‘කැමතිනම් කියන්න. මමත් ආසයි ඒ ගැන දැනගන්න.”

‘‘ගැහැනු එපා වුණා නම් ඇයි මට කතා කළේ.”

‘‘මම තව පාරක් කියනවා වරදවා හිතන්න එපා. ඇත්තටම ඔයා එක්ක එස්. එම්. එස්. කරනකොට මට හිතුනා ඔයා හොඳ කෙනෙක් කියලා. හැමෝම ගැහැනු එක වගේ නෙවෙයි කියලා මම ඔයාගෙන් තේරුම් ගත්තා. ඒකයි මම ඔයත් එක්ක කතා කරන්න කැමති වුණේ. ඒක කරදරයක් වගේ නම් මම ආයි කතා නොකර ඉන්නම්.”

‘‘අනේ එහෙම එකක් නැහැ. මමත් වැඩිය පිරිමි එක්ක කතා කරන්න යන්නේ නැහැ. මටත් තේරුණා ඔයා හොඳ කෙනෙක් කියලා. ඒකයි මම ඔයත් එක්ක කතාබහ කරන්න තීරණය කළේ.”

එතනින් නොනැවතුණු ඔවුන් දෙදෙනා පැය කිහිපයක් පමණ ආගිය තොරතුරු කතාබස් කළහ. එතැන් සිට දිනපතාම පාහේ දෙදෙනා තම තොරතුරු හුවමාරු කර ගත්හ. සති දෙකක් පමණ එලෙස ගතවිය. තවත් එක් දිනක ඔවුන් දෙදෙනා මෙලෙස කතාබස් කළහ.

‘‘සුසිලා මම ඔයාගෙන් දෙයක් අහන්නද ?”

‘‘අහන්න ඕන දෙයක්.”

‘‘මේක අහලා හිත කලබල කර ගන්න එපා.”

‘‘ඔයාට පිස්සුද ? මම එහෙම කර ගන්නේ නැහැ.”

‘‘ඇත්තටම මම ඔයාට ආදරෙයි.”

‘‘මොනවා.”

‘‘ඔව් මම ඇත්ත කියන්නේ.”

‘‘මට වයස අවුරුදු හැටක් වෙනවා. ඔයා තාම තරුණයි.”

‘‘අවංක ආදරයට වයස බාධාවක් නොවෙයි. ඔයා ඒ ගැන අහලා නැද්ද?”

‘‘ ඕන තරම් අහල තියෙනවා. ඒත් මට හිතාගන්න බැහැ. ඔයා කරපු මේ යෝජනාවට.”

‘‘ඇයි හිතාගන්න බැරි. ඔයාට මාව අවිශ්වාසද.?”

‘‘කවදාවත් මට ඔයාව අවිශ්වාස නැහැ. ඒත් මට මේක විශ්වාස කරන්න බෑහැ.”

‘‘ඇයි විශ්වාස කරන්න බැරි. මම ඇත්ත කිව්වේ.”

‘‘නැහැ නැහැ ඔයා ගැන මම වැරදි දෙයක් හිතලා කිව්වේ නැහැ. ඒත් මගේ වයස.”

‘‘මම හොඳට හිතලා මේ තීරණය ගත්තේ. මට ඕනේ ඔයාගේ කැමැත්ත විතරයි.”

‘‘මේ වගේ යෝජනාවකට මම කොහොමද අකැමැති වෙන්නේ. මමත් ඇත්තටම ඔයාට ආදරෙයි. මගේ හිතෙත් ඔයා ගැන ලොකු හැඟීමක් තිබුණා. ඒත් මම ඒක ඔයාට කිව්වේ නැහැ. මොකද අපේ වයසෙ ප‍්‍රශ්නෙ නිසා.”

‘‘ඔය ආයිත් වයස ඇදලා ගන්නවා. ඒක අපේ ආදරේට බාධාවක් නොවෙයි.”

‘‘මගේ ජීවිතේ සතුටුම දවස අද. මට මගේ ජීවිතේ යළි හම්බුනා වගේ දැනෙනවා.”

‘‘මටත් එහෙමයි. මැරෙනකම් මම ඔයා ළඟ ඉන්නවා. ඒ වගේම ඉක්මනට මම ලංකාවට එනවා ඔයාව කසාද බඳින්න.”

එදින දෙදෙනාගේ ආදර කතාව එලෙස පටන් ගත්හ. එතැන් සිට සුසිලා ගේ ජීවිතයම වූයේ උපුල් පමණි. ආදරයෙන් පැරදී සිටි ඇය යළි තම ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගත්තාය. ලද සෑම මොහොතකම අන්තර්ජලය හරහා දෙදෙනා පෙම් බස් දෙඩූහ.

තවත් දිනක උපුල් ඇයට මෙලෙස පැවසුවේය.

‘‘මම ළඟදීම ලංකාවට එනවනේ. ඒක නිසා මම ඔයාට තෑගි වගයක් ගත්තා.”

‘‘ඇත්තටම.”

‘‘ඔව් ඇත්තටම තමයි.”

‘‘මොනවද මගේ පණ මට ගත්තේ.”

‘‘ස්මාට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, මිල අධිකම සුවඳ විළවුන්, තව ඇඳුම් වගයකුත් ගත්තා. ඒ ගත්ත බඩු වල පින්තූර ටිකත් මම ඔයාට දාන්නම්.”

‘‘ඇයි ඔයා මට ඔච්චර වියදම් කළේ.

‘‘දැන් මම ඔයාට වියදම් කරන්නේ නැතුව කාට වියදම් කරන්නද?”

‘‘ඉතින් මම මොනාද ඔයාට දෙන්නේ.”

‘‘මට ඔයාගෙන් මොකුත් එපා. ආදරය විතරක් කරන්න.”

‘‘මගේ ජීවිතයටත් වඩා ඔයාට දැන් මම ආදරෙයි.”

‘‘ඒක මම දන්නවා. ඔයාට ගත්ත බඩු මම නැවට දානවා. ඒත් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.”

‘‘මොකක්ද ඒ.”

‘‘බඩු වල වටිනාකම වැඩිනිසා මේ ටික දාන්න ලක්ෂ ගානක් යනවා. ඒකට මට සල්ලි වගයක් මදි.”

‘‘කීයක් ද ඒ ටික මම දෙන්නම්. ඒ ගැන ඔයා කලබල වෙන්න එපා.”

‘‘ප‍්‍රශ්නයක් නැත්නම් මගේ එකවුන්ට් එකට රුපියල් ලක්ෂ දෙකක් දාන්න පුළුවන්ද?. මම එකවුන්ට් නම්බර් එක දෙන්නම්.”

‘‘ ඕක මොකක්ද? සුළු දෙයක්නේ. මම හෙටම දාන්නම්. ඒ සල්ලි ටික ඇතිවෙයිද.?”

‘‘ඔව් මම හිතන්නේ ඇතිවෙයි.”

පසුදින උපුල් ලබාදුන් බැංකු ගිණුමට ඇය රුපියල් ලක්ෂ දෙකක මුදලක් තැන්පත් කළාය. එම මුදල තැන්පත් කර දින දෙකකට පසු උපුල් යළිත් ඇයට ඇමතුමක් ලබාදී පැවසුවේ තවත් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් මදි බවයි. ඒ අනුව ඇය එම මුදලද ඔහුගේ ගිණුමට තැන්පත් කළාය.

ලක්ෂ තුනහමාරක මුදලක් උපුල්ට ලබාදී සතියකට පමණ පසු ඔහු ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. ලබාදෙන දුරකථන ඇමතුම් ප‍්‍රමාණය සීමා කළේය. ඇය ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට පැවසුවේ මේ දිනවල තමන් කාර්යබහුල බවයි. එලෙස තවත් සතියක් පමණ ගත විය. ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණි. එයින් ඉමහත් සේ දුක් වුණ ඇය පිස්සියක මෙන් ඔහු පිළිබඳව තොරතුරු සොයා බැලූවාය. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇයට නොහැකි වූවාය.

තම පෙම්වතා ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව සිත් තැවුලින් සිටි ඇය මේ පිළිබඳව තම හොඳම මිතුරියටද පැසුවාය. එය ඇසූ එම මිතුරිය නොයෙක් දේ පවසමින් සුසිලා ගේ සිත සැනසීමට උත්සාහ කළාය. එහෙත් පළක් වූයේ නැත. ඇය එක හෙලාම පවසා සිටියේ තම තරුණ පෙම්වතා කෙලෙස හෝ සොයාදෙන ලෙසයි.

ඇයට ද එම පුද්ගලයා ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඇය සුසිලාට පැවසුවේ මේ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් දමන ලෙසයි. ඒ අනුව ඇය මොරටුව පොලිසියට ගොස් තම තරුණ පෙම්වතා ගැන සහ ඔහුට ලබා දුන් මුදල් ගැනද පවසා පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට හැකි වූයේ විදේශගතව සිටින ලෙස පෙන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා එම පුද්ගලයා වයස හැටක් වන මෙම කාන්තාව රවටා මුදල් ලබාගෙන ඇති බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් ඇයට ඒ පිළිබඳව පැවැසුවේය.

පොලිස් නිලධාරීන් පැවසූ දෙයද පිළිගැනීමට ඇය අකැමැති වූවාය. අවසානයේ ඇය පොලිස් නිලධාරීන්ට පැවසුවේ ‘‘ලක්ෂ තුනහමාරක් නොව තවත් ලක්ෂ 12ක් වුණත් වියදම් කරන්නම් කෙලෙස හෝ තම පෙම්වතා සොයා දෙන ලෙසයි. ඒ තරම්ම ඇය එම වංචාකාරී පුද්ගලයාට ආදරය කළාය.

වර්තමාන සමාජය තුළ මෙවැනි සිද්ධීන් බහුලව වාර්තා වේ. එම නිසා ඔබ ද මෙවැනි වංචනික පුද්ගලයන්ගෙන් ප‍්‍රවේශම්වන්න. මෙම වංචාකාරී පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටිති.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment