සිනමාව වැටිලා නෑ – අධ්‍යක්‍ෂ සුනිල් ප්‍රේමරත්න

183

මේ ක්‍රමවේදයත් එක්ක නිෂ්පාදකවරු දවසින් දවස අයින් වෙනවා

සහාය අධ්‍යක්‍ෂකවරයකු, තිර රචකයෙකු ලෙස සිනමා ක්‍ෂේත්‍රයට පිවිසි සුනිල් ප්‍රේමරත්නයන් පසුගිය කාලයේ ටවුමෙ ඉස්කෝලේ, වැලි පවුරු, නිහඬ සෙවණැලි යන සිනමාපට ඔබ වෙත තිළිණ කළේය. ඔහුගේ සිව්වැනි සිනමා නිර්මාණය S3 Movie Creation වෙනුවෙන් සංගීත් අල්ගම සහ නීල් සංජීවගේ නිෂ්පාදනයෙන් ‘ලොක්ඩවුන්’ ලෙසින් 01 වැනිදා සිට රටපුරා රිද්ම මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත කෙරේ. සුනිල් ප්‍රේමරත්නයන් සමග සිනමා කලා මේ සංවාදය ලොක්ඩවුන් සිනමා නිර්මාණය පිළිබඳවය.

සිනමාව වැටිලා නෑ - අධ්‍යක්‍ෂ සුනිල් ප්‍රේමරත්න

ලොක්ඩවුන් සිනමා නිර්මාණය 01 වැනිදා සිට රට පුරා තිරගත කරන්න සුදානම් වෙනවා නේද?

ඔව්. අපි මේ චිත්‍රපටය නිර්මාණය කරලා ඇත්තටම අවුරුදු එකහමාරක් විතර වෙනවා. කොරෝනා වසංගතය අවසන් සමයේ තමයි රූගත කළේ. අන්තිමේ ආර්ථික අර්බුදයත් සමග ආපු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වැනි අර්බුදවලටත් මුහුණදීලා ගොඩක් බාධක මැද්දේ තමයි චිත්‍රපටය සාර්ථකව අවසන් කරගත්තේ.

මෙහි කතාව තිර රචනය ඔබේ. ඇත්තටම මේ අදහස ආවේ කොහොමද?

මගේ පළමු චිත්‍රපටය ටවුමෙ ඉස්කෝලේ. ඒක නරඹපු ප්‍රවීණ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මට කිව්වා ඒ වගේ ළමයෙකුගේ කතාවක් ආවොත් මට කියන්න මම අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරනවා කියලා. ඊට පස්සේ කොරෝනා කාලයේ අපි ඔක්කොම ලොක්ඩවුන්වෙලා නේ හිටියේ. ඉතිං මට පොඩි දරවෙකුගේ කතාවක් ඔළුවට නැගුණා. මේක ඇත්තටම කොරෝනා කතාවක් නෙමෙයි. ලොක්ඩවුන් කාලේ ගෙවල් ඇතුළේ ගොඩක් සිදුවීම් සිද්ධවුණා නේ. එහෙම කතාවක් තමයි මෙහි නිර්මාණය වුණේ.

නළු නිළියන් තෝරාගැනීම ගැනත් කතා කළොත්?

චුලක්‍ෂිව තෝරාගන්න ඕනෑ කියන මතයේ මම මුලින්ම හිටියා. චුලක්‍ෂිට ගැළපෙන්නේ රොෂාන් හින්දා ඔහුව තෝරාගත්තේ. කුඩා දරුවෙක් ඕනෑ වුණා. අන්තිමේ රාධිකාගේ දුව ඒ චරිතයට ගැළපුණා. ඊට පස්සේ තමයි අනෙක් චරිත තෝරාගත්තේ.

අද කාලේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාට වඩා අපහසුයි නේද ප්‍රදර්ශනය කරන එක?

මේකට මට මුලින් ආරාධනා කළේ සුනිල් ටී. මහත්මයා වුණාට පසුකාලයක සංගීත් අල්ගම සහ නීල් සංජීව යන දෙදෙනා හරහා තමයි නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ. චිත්‍රපයක් කරනවාට වඩා ඇත්තටම අමාරුයි ප්‍රදර්ශනය කිරීම. හරි අවුල් සහගත දේවල් තියෙනවා. අපේ සිනමාව හැදිලා තියෙන විදිහනේ. අපේ සිනමාවේ කිසිම ක්‍රමවේදයක් නැහැ. හරි පිළිවෙළකට කිසිම වැඩක් වෙන්නේ නැහැ.

සිනමාව වැටිලා නෑ - අධ්‍යක්‍ෂ සුනිල් ප්‍රේමරත්න

අපේ රටේ චිත්‍රපට බෙදාහැරීමට නිසි ක්‍රමවේදයක් නැතිද?

ඇත්තටම ක්‍රමවේදයක් නැහැ. හරිම අවුල් සහගතයි. හරිම ගැටලු සහගත තත්ත්වයකට තමයි මේක කරගෙන යන්නේ. මොනව කරන්නද? ලංකාවේ සිනමාව යන්නේ ඔහොම තමයි.

ලංකාවේ සිනමාව ගැන මොකද හිතන්නේ?

සිනමාව හොඳයි, නරක නෑ. හොඳ නිර්මාණයක් කළහම ප්‍රේක්‍ෂකයෝ ඒ නිර්මාණයට ඇදිලා එනවා. හොඳ දේවල් අලුත් දේවල් නරඹන්න ප්‍රේක්‍ෂකයෝ පෙළඹෙනවා. ගොඩක් කට්ටිය කිව්වට ඇත්තටම සිනමාව වැටිලා නෑ. හොඳ දක්‍ෂ අධ්‍යක්‍ෂකවරු, පිටපත් රචකයෝ ඉන්නවා. එකම ගැටලුව තියෙන්නේ මේ ක්‍රමවේදයත් එක්ක නිෂ්පාදකවරු දවසින් දවස අයින් වෙනවා. මොකද නිෂ්පාදකවරු මේවාට සල්ලි යොදවන්නේ ඔවුන්ට නිකං ඉන්න බැරිවට නෙමෙයි. කවුරුත් පාඩු විඳින්න කැමැති නැහැනේ.

චිත්‍රපටයක් තිරගත කිරීමේදී තිබෙන අත්දැකීම් එක්ක ආපහු ඒගොල්ලො ඊළඟ නිර්මාණය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඕක තමයි අපේ ලංකාවේ තිබෙන සිස්ටම් එක.

● දිනේෂ් විතාන

සිනමාව වැටිලා නෑ - අධ්‍යක්‍ෂ සුනිල් ප්‍රේමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment