සිල් සමාදන් වී දෑස් පියාගත් ජීවකයා

100

ඔහු වෛද්‍ය ආර්. සී. රාජපක්‍ෂ නම් වූයේය. සෙංකඩගල පුරවරයේ, අම්පිටිය කඳු යායේ ඔහු උපත ලැබූයේ වසර 1933 ජූලි 1 වැනිදාය.

මහනුවර ධර්මරාජ විදුහලෙහි පළමු ඉගෙනුම අරඹා, කොළඹ ආනන්ද මහා විදුහලෙහි තරග විභාගයකින් සමත්විය. සුහද, සුමිතුරු, සන්සුන් ගති සතු සිසුවා සැමගේ සිත් ගති. සදා සුන්දර සිනා රැඳි මුහුණින් සැරසුනෙකි. එකලැ එකමැ ඉගෙනුම් මාධ්‍යය ඉංගිරිසියයැ. උසස් පාසැල් සහතික පෙළැ භෞතික, රසායන, ජීව විද්‍යාවන් හදාරා ලිඛිත විභාගයෙන්ද, ප්‍රායෝගික විභාගයෙන්ද, මුහුණට – මුහුණ ලා කැරුණ සම්මුඛ විභාගයෙන්ද පහසුවෙන් ජයගති. දිවයිනේ පිහිටි එකමැ වෙද විදුහලේ සිසුවෙක් වියැ. නියාමක පරිදි වෛද්‍ය විෂයයන් පස් වසරක් හැදෑරීය, කැපී පෙනුණු චරිතයකි. බොදු සමිතියේ ලේකම් ධුරයට පත් කැරුණි. කෙළි බිමෙහි හොකී ක්‍රීඩාවෙහි දක්ෂ භාවය දිස්විණි. වෙද ඉගෙනුම පහසුවෙන් ජයගති.

තරුණ වෛද්‍යවරයාගේ ආධුනික වසර මාතර රජයේ මහ රෝහල විය. රජයේ සෞඛ්‍ය සේවයට බට සුළු කලෙකින් මහනුවර මහ රෝහලෙහි අධිකාර තනතුරට පත් කැරුණි. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නායකත්වයට සුදුස්සෙකි. අගනුවර බද ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලෙහි අධිකාර තනතුරට පත් කැරුණි. එහි වෘත්තියෙහි ගරුත්වය රැකීය. සේවයේ නියුතු වූවෝ මෙන්ම සේවය ලාභියෝද ඔහුට ගරු කළහ. ඉතා උසස් ලෙස ක්‍රියාකැර, විශ්‍රාම ලැබුවේ 1991 දීය.

රාජ්‍ය සේවයෙහි යෙදී සිටියදී සමගාමීවැ උපන් බිම වෙනුවෙන් තම දිවි නොතකා යුද සේවය වෙත තම ශක්ති යෙදවියැ. රණ බිමේ අභීත රණවිරු නායක හෙතෙම පාබල හමුදා අංකයක අණ දෙන නිලධාරියෙකි. සතුරන් අභිබවා රණ බිමේ සිංහ ධජය එසවීමට සමත් වූයේය.

තම දක්‍ෂතාව රජයට ලබාදී අනතුරු අගනුවර පුද්ගලික රෝහලක අධිකාරි ධුරය පිළිගෙන සාර්ථකවැ යෙදුණි. ඉක්බිතිව ළමා රෝග විශේෂඥවරියක් වූ තම ආදරණීය බිරිඳ සමග විදෙස්ගත වී, සීෂෙල් රාජ්‍යයේ වික්ටෝරියා රෝහලෙහි අධිකාරි සේවයේ දෙවසරක් හෙබවූයේය.

කවර සේවයේ යෙදුනත්, සිය පවුල සමාජයේ ඉතා උසස් තත්ත්වයක ඔසවා තැබීය. එකමැ දියණිය වෛද්‍යවරියකි. එකමැ පුතු ජලසම්පාදන කර්මාන්තයෙහිය. එකමැ සුරතල් මිණිබිරිය වෙද සිසුවියකි. තම ආගම ඇලපිල්ලක්-පාපිල්ලක් නොවරදවා අකුරටමැ පිළිපැද පෝදා අටසිල් සමාදන් වූයේ උපාසක බිරිඳ සමගිනි. සිරිත් පරිදි පසුගිය පොහෝ දින අටසිල් සමාදන් වී සිටියදී නොසිතූ නොපැතූ අනතුරකට භාජන විය. ශ්‍රද්ධාවෙන් පාරි තම සිරුර සිල් රෙදිකඩ සමග පරලෝ සැපැත් වියැ. ඒ 2023 වසරේ සැප්තැම්බර් 29 දින දීය. නොකඩා අඩසියවසක් තුළ මෙදෙස – විදෙස ජනතා සේවයෙහි ස්වාධීන, සුවිශිෂ්ඨ, සුචරිත නායකත්වයක් ලබා දුන් සමකාලීනයට අනාගත කාලීනයට අසිරිමත් ආදර්ශයකි. අප ඇසුරට වසර දසක සතකි.

රාජ්ට නිවන් සැප පතමි
වෛද්‍ය ඒ. ඒ. ඩබ්ලිව්. අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදය.

advertistmentadvertistment
advertistmentadvertistment