යුද්දෙ කාලේ රණවිරුවන්ට ඉතිහාසය ඉගැන්නුවේ මමයි…

1227

පියංගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන්වහන්සේ දින ගණනාවක් වළඳල තිබුණේ ගස් නිවිති…

ඔඩ්ඩිසුඩාන් කැලය දෙවැනි මහමෙව්නාව වගෙයි…

යුද්ධයට පෙර උතුර, නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණවලදී දෙමළ මිනිසුන්ගෙන් උපරිම සහයෝගය ලැබුණා…

මෙරට මහ වන මැද හාරපු නැති නටබුන් සෑයක් සොයාගන්න නෑ…

ඉතිහාසයේ උරැමය රැකි යතිවර ගවේෂණය – 3

පුරාවිද්‍යා චක්‍රර්වතී එල්ලාවල මෙධානන්ද හිමිගේ පුරාවිද්‍යා ගවේශණ මකත සටහන්…

කල්තොට ගල්ලෙන් පමණක් නොව නයිගල සෙල්ලිපි කීපයක් පරීක්‍ෂා කර පිටපත් කරගැනීමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ කටයුතු කර තිබිණි. එසේ පිටපත් කර ඇති එක සෙල් ලිපියක උපශොණ නම් වැවක අයිතිකරු වූ කීර නම් කුමාරයෙක් ගැනත් ඔහුගේ පුත්‍රයෙකු වූ ශිව නම් කුමාරයෙක් ගැනත් සඳහන් වේ. එමෙන්ම උන්වහන්සේ අලුතින්ම සොයාගත් සෙල් ලිපියක කීර කුමාරයා තිස්ස නම් කුමාරයෙකුගේ පුත්‍රයෙක් බව ද සඳහන් වේ. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට එම ඓතිහාසික ස්ථානය ගැන දැනුම් දී ඇත්තේ දියවින්න දේවගිරි විහාරයේ වැඩ සිටි මැල්සිරිපුර සද්ධානන්ද හාමුදුරුවෝ ය.

“මේ සිද්ධිය නම් කොහෙත්ම අමතක වෙන්නෙ නෑ. මහ රෑ සීතලේ ගැහි, ගැහී මහ පාරෙත් ඉන්න වුණා…” රැළි වැටුණු වියපත් මුව මඬල සිනාවකින් පිරිණි. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අසුනේ හරි බැරි ගැසුණහ.

යුද්දෙ කාලේ රණවිරුවන්ට ඉතිහාසය ඉගැන්නුවේ මමයි…

“ඒ සිද්ධියට මුහුණ දෙන්න වුණේ පියංගලට කොටි ගහපු දවස්වල. ආරණ්‍ය සේනාසනයට දානමාන නොලැබෙන බව මට ආරංචි වුණා. වියළි ආහාරත් රැගෙන මා සමඟ පියංගලට යන්න කිහිපදෙනෙක් කැමැති වුණා. ඒත් ගමන යන්න අන්තිමට ඉතිරි වුණේ ආරියදාස ලියනගේ මහත්තයා විතරයි. පියංගල ගමනට දින නියම කරගත් දිනම සර්වෝදයේ දේශනයකටත් ආරාධනාවක් ලැබුණා. එම දේශනයට සහභාගි වෙලා පාරේ බස් රථයක බළන්ගොඩට යනකොට හොඳටම රෑ වෙලා. ඒ වෙනකොටත් ආරියදාස මහත්තයා බඩු මලුත් කර තියාගෙන බළන්ගොඩ ටවුන් එකට ඇවිත් හිටියා. බළන්ගොඩ ස්ටෑන්ඩ් එකේ අම්පාර බස් එක නතර කරනකොට රාත්‍රී 9.30 යි. පැය භාගයකින් ගමන් ආරම්භ කරන බව කොන්දොස්තර මහත්තයා දැනුම් දුන්නා. ආරියදාස මහත්තයා ගෙනත් තිබුණු හාල්, පොල්, වෙනත් අඩුම, කුඩුම අමාරුවෙන් බස් රථයට පටවගෙන අසුන් ගන්නවා විතරයි මතක. මහන්සියටත්, සීතලටත් හොඳට නින්ද ගියා. අතරමඟ බස් රථය බොහෝ වෙලාවක් නතර වෙලා තියෙනකොට තමයි ඇස් ඇරුණේ. බෙරගල සිට වැල්ලවායට යන මාර්ගයේ නිකපොතට ආසන්නයේ ලේමස්තොට තමයි බස් රථය නතර වෙලා තිබුණේ. තේ වතු යායක් මැද. හරියටම රෑ 12 යි. ගල් වෙන තරමට සීතල. මගීන් සියලුදෙනාම අසුන්වල ගුලි වෙලා. කොන්දොස්තර මහත්තයයි, ඩ්‍රැයිවර් මහත්තයයි එන්ජිම පණ ගන්වන්න නොසෑහෙන්න මහන්සි වුණා. ඒත් ස්ටාර්ඩ් වුණේ නෑ. ආරියදාස මහත්තයටත් කතා කරගෙන බඩු මලු ටික බසයෙන් බාගෙන පාරෙ යන කුමක් හෝ වාහනයක් නතර කරයි කියන බලාපොරොත්තුවෙන් මහ පාර අයිනට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට ඉන්න බැරි තරමට සීතල දැනෙන්න ගත්තා. මම සිවුර පොරවගෙන. ආරියදාස මහත්තයා එහෙමවත් නෑ. සට පට ගාලා ගැහෙනවා. ඒත් හිතේ හයියට දැන් වාහනයක් එයි… එයි… කියලා හිතාගෙන හිටියා. පැය කිහිපයක් යනකොට වාහන එළියක් ආවා. දෙදෙනාම පාරට පැනලා වාහනය නතර කරගත්තා. අම්පාරට පත්තර ගෙනියන වෑන් රථයක්. රියැදුරු මහත්තයට කරුණු පැහැදිළි කර අම්පාරට යන්න කැමැති කරවගත්තා. මග දිගට පත්තර මිටි බෙදමින් අම්පාරට යනකොට උදේ 8 විතර වුණා…”

“අපි රැගෙන ගිය බඩු මලු බාගෙන, වෑන් රථයේ රියැදුරුට පින් අනුමෝදන් කර ආරියදාස මහත්තයව බඩු මලු ආරක්‍ෂාවට තබා මම හෝටලයකට ගියා. ඩිලීෂියා හෝටලය. දානය අරගෙන පැමිණ ආරියදාස මහත්තයාව කෑමට පිටත් කළා. බඩු මලු මත හිඳගෙන අවට විපරම් කරනකොට මහඔය ප්‍රදේශයට යන පෞද්ගලික වෑන් රථ කිහිපයක්ම නතර කර තියෙනව දැක්කා. බුද්ධ රූප, සීවලී පින්තූරු සවිකර ඒ වටා විදුලි බුබුළු දල්වා තියෙන අයුරු දැක්කම සතුටකුත් දැනුණා. ආරියදාස මහත්තයත් පැමිණි පසු ඒ පෞද්ගලික වාහනවල රියැදුරන් ඉන්න තැනට ගිහින් පියංගල ආරණ්‍යයට සිදුවෙලා තියෙන අනතුර පැහැදිළි කර වියළි ආහාර මලු ටික ගෙනියන්න උපකාර කරන්න කියලා කරුණාවෙන් ඉල්ලීමක් කළා…”

‘බඩු මලු දාගෙන ගියාම අපට පාඩුයි… සෙනඟ ගෙනියන්න බෑ හාමුදුරුවනේ…’ මගේ ඉල්ලීම සියලුදෙනාම වචන කිහිපයකින් ප්‍රතික්ෂේප කළා…’ ඒ පිළිතුරෙන් පසු මම තව පැහැදිළි කරන්න ගියේ නෑ. ලංගම බස් නැවතුම්පොළට ගිහින් ටයිම්කීපර් මහත්තයට කතා කර, පියංගලට යන බස් රථයක් ගැන විමසා බැලුවා…

“හාමුදුරුවනේ… පියංගලට කොටි ගහලා… ලංගම බස් නම් වැඩ කරන්නෙ නෑ. රජගලතැන්න තැපැල් කන්තෝරුවේ තැපැල් මල්ලවත් දින ගණනාවකින් ගෙනාවේ නෑ…” ටයිම්කීපර් මහත්තය එසේ කරුණු පැහැදිළි කරනකොට අක්කරපත්තුවේ සිට පැමිණි බස් රථය නැවතුමේ නතර කළා…

‘අලියාස්…’ ටයිම්කීපර් උස් හඬින් ඒ බස් රථයේ රියැදුරුට කතා කළා…

‘රජගලතැන්නට ගිහිල්ලා තැපැල් මල්ලත් අරගෙන මේ හාමුදුරුවන්ව පියංගල ආරණ්‍යයට බස්සන්න පුළුවන්ද…’ ටයිම්කීපර් මහත්තයා ඇහුවා…

යුද්දෙ කාලේ රණවිරුවන්ට ඉතිහාසය ඉගැන්නුවේ මමයි…

‘තැපැල් මල්ල කොහොම වෙතත් හාමුදුරුවන්ව පියංගල ආරණ්‍යයට බස්සලා එන්නම්…’ මුස්ලිම් ජාතික රියැදුරු මහත්තයා මට වැඳ නමස්කාර කොට එහෙම කියලා බඩු මලු ටික බස් එකට පටවන්න උදව් වුණා. කැඩී, බිඳී ගිය අබලන් මාර්ගවල සෙමෙන් ගමන් කර බස් රථය ආරණ්‍ය සේනාසනයට යනකොට උදේ 10 පසු වුණා. බඩු මලු ටික බාගෙන විශේෂයෙන්ම මුස්ලිම් ජාතික රියැදුරු මහත්තයට පින් දී බස් රථය පිටත් කළා. ඒ වෙනකොට ආරණ්‍යයේ වැඩ සිටි භික්‍ෂූන්වහන්සේට දින කිහිපයකින් දානය ලැබිලා තිබුණේ නෑ. ඒ දවස් කිහිපයේම දානයට වළඳලා තිබුණේ ගස් නිවිති තම්බගෙන. ආරියදාස මහත්තයා සමඟ එකතු වී ඉක්මනට බත් උයලා, පරිප්පු හොදි හදලා, පොල් සම්බෝලයක් කොටලා උන්වහන්සේට දානය පිළිගැන්නුවා. සතියකට වැඩි දින ගණනකින් බත් සහිත ආහාර වේලක් වළඳලා නොතිබුණු භික්‍ෂුන්වහන්සේ එදා හොඳට දානය වැළඳුවා. ඒත් අපිට ගෙනියන්න පුළුවන් වුණේ සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර. එතැනින් පස්සෙ නැවත උන්වහන්සේට හරි හැටි දාන වේලක් නොලැබෙන්න ඇති. ඒ කාලේ පිට පළාත්වල මිනිස්සු ඒ පළාත්වලට ගියේ නෑ. ඒ ගම්වල ජීවත් වෙච්ච මිනිස්සුත් කැලෑවට මායිම් වෙලා තිබුණු පියංගල වැනි ආරණ්‍ය සේනාසනවලට යන්න බය වුණා. ඒ නිසා උතුර – නැගෙනහිර ආරණ්‍ය සේනාසනවල වැඩසිටි භික්‍ෂුන් වහන්සේට යුද සමයේ දානය ලැබුණේ නෑ. මේ කතාව විශේෂයෙන්ම සඳහන් කළේ ත්‍රස්තවාදී අරගල සමයේ උතුර – නැගෙනහිර වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ මොනතරම් කැපකිරීමකින් බෞද්ධ සිද්ධස්ථාන රැකගත්තේ ද යන්න ජාතියට අවබෝධ කර දෙන්න…’ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ අදහස පැහැදිළිය. මෙරට පාලකයන්ට, බොහෝමයක් දේශපාලනඥයන්ට ගුණ මකු ජනතාවට බිහිසුණු ත්‍රස්තවාදයේ කෲරත්ව මතකයට එන්න උන්වහන්සේගේ එම සිහිපත් කිරීම අගනේය. එමෙන්ම අම්පාරේ සිංහල රියැදුරුන්ට නැති මනුස්සකමක් අම්පාරේ මුස්ලිම් මිනිසුන් ළඟ එදා තිබුණු බව පැහැදිළි කිරීමට ද ඒ කතාව වටින්නේය.

මිනීමරු ප්‍රභාකරන් ඇතුළු දෙමළ ත්‍රස්තවාදීන් යුද ගිනි ඇවිළවීමට පෙර, උතුර – නැගෙනහිර ප්‍රදේශවල මහා කැලෑ පීරමින් පුරාවිද්‍යා ගවේෂණ කරගෙන ගිය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට දෙමළ මිනිසුන්ගෙන් ලැබුණු සහයෝගය අති විශාලය. පුරාවිද්‍යා ස්ථානවලට යෑමට මඟපෙන්වීමට සහ දානය ලබාදීමට නොපැකිලිව දෙමළ මිනිස්සු ඉදිරිපත් වී සිටියහ. එමෙන්ම ඒ කාලයේදී බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට දෙමළ මිනිසුන්ගෙන් සිදුවන හානිය ද අතිශය අල්ප මට්ටමක පැවැති බව මෙධානන්ද හාමුදුරුවෝ අප සමඟ පැවසූහ. එදවස උතුර – නැගෙනහිර පළාත්වල ජීවත් වූ සිංහල, දෙමළ මිනිසුන් ජාති, ආගම්වාදයෙන් තොරව එක බත්පත කා සහෝදරයන් සේ ජීවත් වූ බවට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට ඇති අද්දැකීම් බොහෝය. එහෙත් උතුර – නැගෙනහිර ප්‍රදේශ පුරා කොටි ත්‍රස්තවාදය ඇවිළී ගොස් දරුණු යුද සමයේදී එම ප්‍රදේශවල පුරාවිද්‍යා ගවේෂණ සිදු කරගෙන ගිය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට දෙමළ මිනිසුන්ගෙන් ලැබී ඇති සහෝගය අතිශය අල්පය. හමුදාවේ, පොලිසියේ ආරක්‍ෂාව මැද වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල මහා කැලෑවේ දින, සති ගණන් නතර වී පුරාවස්තු ගවේෂණය සිදුකරගෙන ගිය ආකාරය ගැන උන්වහන්සේ සිහිපත් කළහ. ඔයදියමලේ, වෙඩිකිනාරිමලේ, තඩ්ඩමලේ, කුරුන්දම්මලේ, මුත්තයියන්කට්ටු ආදී ප්‍රදේශවල පුරාවස්තු ගවේෂණය කර ඔඩ්ඩිසුඩාන්වලට පැමිණි එල්ලාවල හාමුදුරුවන් ඇතුළු පිරිසට අමතක නොවන අත්දැකීමකට මුහුණදීමට සිදු වී ඇත. ඒ සුමිහිරි මතකය උන්වහන්සේ මෙසේ පැහැදිළි කළහ.

“ඒ ගවේෂණ චාරිකාවේදී අපිට සහයෝගය ලබාදෙන්න පැමිණ සිටි හමුදා නිලධාරියෙක් වූ අතුල සිල්වා කිව්වා ඔඩ්ඩිසුඩාන් රක්‍ෂිතයේ පුරාවිද්‍යා ස්ථාන රාශියක් තියෙනවා, බලන්න යමු කියලා. ඔඩ්ඩිසුඩාන් කැලය මහ විශාලයි. ඒත් අතුල සිල්වාගේ මඟපෙන්වීම මත අපි ඒ කැලයට ඇතුළු වුණා. මහ වනය ඇතුළට යනකොට මම විශ්මයට පත් වුණා. දෙවැනි මහමෙව්නාව වගෙයි. හැම තැනම ස්තූප ගොඩැලි, ගල්කණු, පියගැටපෙළවල් ආදී බෞද්ධ වෙහෙර විහාරවල ශේෂයන්ගෙන් හැම තැනම පිරිල. විවිධ වන සතුන් මුණගැහුණා. උන්ගෙන් කිසිම කරදරයක් වුණේ නෑ. මහ කැලෑව පුරා ඇවිඳිමින් පුරාවස්තු නරඹමින්, සමහර ස්ථාන ඡායාරූප කරගෙන ඉදිරියට ගියා. එක තැනක තණකොළ, ගස්වැල්වලින් වැසී ගිය තරමක ගඩොළු ගොඩැල්ලක් තිබුණා. ගොඩැල්ල මැද වළක් හාරා තිබුණා. නිධන් හොරු ස්තූපය හාරලා ඇති කියලා හිතලා වළේ ගැඹුර බලා ඡායාරූපයක් ගන්න ගොඩැල්ල මතට නැඟලා වළට අත දික් කරනකොටම අතුල මහත්තයා මහ හඬින් ‘අපොයි… අපොයි… හාමුදුරුවනේ, බිම් දෙබරයක්. ඔන්න මැස්සො එනවා…’ කියලා කෑගැසුවා…”

“තණකොළවලින් වැහිල තිබුණු දෙබරයට මගෙ අත දිග් වෙලා තියෙනවා. අතුල මහත්තයා කෑනොගහන්න දෙබරයට අත වඳිනවා. එහෙම වුණා නම් අපි කිසිම කෙනෙකුට දෙබරුන්ගෙන් බේරීමක් නැති වෙනවා. අතුල මහත්තයගේ කෑගැහිල්ලට වළ ෆොටෝ ගන්න එක නතර කර, මදක් එහාට ගිහින් මැස්සො පියාඹන දිහා බලාගෙන හිටියා. අනතුරක සේයාවෙන් කලබල වෙච්ච සතුන් සන්සුන් වුණාට පස්සෙ වටෙන් ගිහින් නිධන් හොරු හාරල තිබුණු වළෙත් පින්තූර අරගෙන තව, තවත් මහ කැලෑව පුරා ඇවිඳිමින් පුරාවස්තු නැරඹුවා. ඇවිස්සෙන්න ගිය බිම් දෙබර වගේ ලොකු දෙබර මහ වනය පුරා තැන, තැන තියෙනවා දැක්කා. ඒ දෙබර කිට්ටුවෙන් වන සතුන්වත් යන්නෙ නෑ. ඒ වගේම ඔඩ්ඩිසුඩාන් වනාන්තරයේ බොහෝමයක් පුරාවස්තු නිධන් හොරුන්ගෙන් ආරක්‍ෂා වෙලා තියෙන්නෙත් බිම් දෙබර නිසා කියලා මට හිතුණා…”

“ත්‍රස්තවාදී අරගල කාලයේ උතුර – නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කරගෙන යෑමට එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අවසරය ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ උපදෙස් පිට මට හොඳ හමුදා ආරක්‍ෂාවක් ලැබුණා. ඒ වගේම උතුර – නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගවේෂණයට මඟපෙන්වීමක් අනිවාර්යයි. ඒ ප්‍රදේශවල මහා කැලෑවේ පුරාවස්තු තියෙන ස්ථාන අපි දන්නෙ නෑ. එම ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් හෝ, හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම මත තමයි පුරාවිද්‍යා ස්ථාන සොයාගෙන ගියේ. යාපනයේ ගිය සෑම අවස්ථාවකම නතර වුණේ තල් සෙවණ විශ්‍රාම ශාලාවේ. එතැන ඉඳගෙන තමයි හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම මත ගවේෂණ කටයුතු කළේ. හමුදා කඳවුරුවල දේශන පැවැත්වුවේ. යුද සමයේ සියලුම හමුදා කඳවුරුවල සාමාජිකයන්ට ඉතිහාසය කියා දුන්නෙ මමයි. ඒ ළමයි හරිම උනන්දුවෙන් අපේ උරුමය ගැන ඉගෙන ගත්තා විතරක් නෙමෙයි, යුද්දෙ කාලේ උතුරු, නැගෙනහිර භූමියේ පුරාවස්තු ආරක්‍ෂා කරගැනීමට දිවි හිමියෙන් කටයුතු කළා. ඒ දරුවො පුරාවස්තු ආරක්‍ෂා කරපු ආකාරයට අපි, මුළු ජීවිත කාලයම ඔවුන්ට ගෞරව කරන්න ඕනෑ. රණවිරුවො එහෙම නොකරන්න උතුර – නැගෙනහිර භූමියේ පුරාවස්තු සේරම හාරල විනාශ කරනවා. එල්.ටී.ටී.ඊ.යටත් වඩා එහෙම කළේ නිධන් හොරු. කොටි ත්‍රස්තවාදීන් සමහර පුරාවිද්‍යා ස්ථාන හාරල බංකර් හදාගෙන තිබුණා…”

“යුද්ධය අවසාන වෙච්ච හැටියේ උතුර – නැගෙනහිර ප්‍රදේශවල සියලුම පුරාවිද්‍යා ස්ථානවලට මම ගියා. තොප්පිගල කුංචනාමලේ පුරාවිද්‍යා ස්ථානයට යනකොට නටබුන් සෑය මත ත්‍රස්තවාදීන් බර අවි සවි කරගෙන තිබුණු බවට සලකුණු තිබුණා. ඒ අයුරින් දෙපළාතේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක කොටි ත්‍රස්තවාදීන් කඳවුරු බැඳගෙන ඉඳලා තිබුණා. කඳවුරු බැඳගෙන බංකර් හදාගෙන තිබුණු පුරාවිද්‍යා ස්ථානවලට තද බල විදිහට හානි වෙලා තිබුණා. ඒ හැර උතුර – නැගෙනහිර දෙපළාතේ සෑම පුරාවිද්‍යා ස්ථානයක්ම කොටි විනාශ කරලා තිබුණේ නෑ. ඒත් මේ වෙනකොට උතුර – නැගෙනහිර දෙපළාතේ හාරපු නැති නටබුන් සෑයක් සොයාගන්න නෑ. කොටි ත්‍රස්තවාදීන්, නිධන් හොරුන්, මුස්ලිම් අන්තවාදීන් පමණක් නොව, මේ රට යටත් කරගෙන සිටි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන කාලවල ඉඳල උතුර – නැගෙනහිර චෛත්‍ය හාරලා පුරාවස්තු විනාශ කළා. උතුර – නැගෙනහිර පළාත්වල පමණක් නෙමෙයි, මෙරට සෑම පළාතකම මහ වන මැද තියෙන චෛත්‍ය හාරල නිධන් කොල්ල කාලා විනාශ කරල තියෙන්නෙ. හාරපු නැති චෛත්‍යයක් සෙවීම කළුනික හොයනවට වඩා අපහසුයි…”

‘මහ වන මැද දී එල්ලාවල හාමුදුරුවන්ට කොටියෙක් මුණගැසෙයි…’

ඉතිරි කොටස ලබන සතියට…
තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment