සිංහල බෞද්ධ සමාජයෙන් දිනෙන් දින ඈත් වන පෝරුවේ චාරිත්‍ර

234

සිංහල බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව මූර්තිමත් වී ඇත්තේ සදාචාර සම්පන්න චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සිරිත් විරිත් මතය. සිරිත් හෙවත් චාරිත්‍ර යනු අනාදිමත් කාලයක සිට අඛණ්ඩව මහත් භක්තියෙන් මෙන්ම විශ්වාසයකන් යුතුව කරගෙන එනු ලබන දේය. විරිත් හෙවත් චාරිත්‍ර යනු නොකළ යුතු වැලකිය යුතු දේය. වර්තමාන තරුණ පරපුරට සිංහල බෞද්ධ සිරිත් විරිත් සම්බන්ධව ඇති අවබෝධය අල්ප වූ නිසාම ඒවා පිළිනොගෙන හෑල්ලුකර අවඥාවට ලක් කරයි. ඔවුන් එසේ අපහාස කරන්නේ විනාශ මුඛයට යමින් පවතින සිංහල සංස්කෘතියේ පරම්පරානුගතව පැවත එන සිරිත් විරිත්වලටය. මේවා අපේ පාරම්පරික ශ්‍රී ලාංකික උරුමයයි. බටහිර සංස්කෘතිය කර පින්නා ඊට මුලා වී ගැතිවී නතු වී සිටින තරුණ පරපුර අපේකම ගැන නිවැරදිව දැනුවත් කිරීම උගත් වැඩිහිටියන් සතුය. සිංහල බෞද්ධ සිරිත් විරිත් පළාතෙන් පළාතට මෙන්ම කුලයෙන් කුලයට සුළු සුළු වශයෙන් වෙනස්ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධ සිරිත් විරිත් නිවැරදිව සාරංශගත කර හෝ සමාජගත විය යුතුමය. ඒ මේ සිරිත් විරිත් අප අතරින් ඈත් නොවී අප අතරම තවත් දිගු කලක් රැඳිය යුතු බැවිනි. මෙහිදී සිරිත් යනු පුරුදු හෙවත් ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ ගති පැවතුම් ස්වභාවයන් හෙවත් ගතිගුණ නොවන බව ද අවධාරණය කළ යුතුමය.

සාමාන්‍යයෙන් විවාහය පුද්ගලයකුගේ දෙවන උපත සේ සැලකේ. ඒ විවාහය සමග ඇතමුන්ගේ ජීවිත සුඛිත මුදිත වී සාර්ථක වෙනවා සේම ඇතමුන්ගේ ජීවිත අන්ත අවාසනාවන්ත දුක්ඛිත තත්ත්වයට පත් වන බැවිනි. බුදු දහමට අනුව යම් ජන්මියෙකුගේ උපත විවාහය හා මරණය පූර්ව කුසල අකුසල කර්ම ශක්තියට අනුව සිදු වේ. එහෙත් විවාහය උපත මරණය මෙන් නොව යම් පමණ අවශ්‍ය ලෙස පාලනය කර සිදු කර ගැනීමේ හැකියාව ඇත. විවාහය යනු සම්පූර්ණයෙන්ම විශ්වාසය මත පදනම් වූවකි. විවාහය යන වචනයේ ආරම්භක අකුරේත් සෙසු අකුරු තුළත් එය ගැබ් වී ඇත. ඒ “වි” විශ්වාසය, “වා” වාසනාව, “හ” හදවත්, “ය” යහපැවැත්ම යනුවෙනි. විවාහ දිවියට පිවිසීම හෙවත් සරණ මංගල උත්සවය ආවාහ විවාහ උත්සවය ලෙස ද හැඳින්වේ. මෙහි ආවාහ යනු තරුණයෙකුට තරුණියක කැන්දාගෙන ඒම වන අතර විවාහ යනු තරුණියක තරුණයෙකුට සරණ පාවා දී නිවසින් පිටත් කර යැවීමයි. තවද යම් හේතුවකින් විවාහ නොවූ තනිකඩයා එදා මෙන්ම අදද අසම්පූර්ණ මිනිසෙක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් තනිකඩයා වගකීම් සහිත පූර්ණ වැඩිහිටියෙකු බවට පත් කරන කඩඉම විවාහය ලෙස ද අර්ථකථනය කළ හැක.

සිංහල බෞද්ධ කුල සිරිතට අනුව ආවාහ විවාහ සිදුවිය යුත්තේ ඉතාම වැඩි වයස් පතරයක් මෙන්ම ඉතාම අඩු වයස් පතරයකින් ද තොරවය. පුරාණයේ මෙන්ම අදත් ජ්‍යොතිෂ මතය මෙයය. මෙහිදී පුරුෂයා අනිවාර්යයෙන්ම වැඩි මහලු විය යුතු අතර දෙදෙනා අතර පුරාණ සම්මත වයස් පරතය අවුරුදු 4 හෝ ඊට ආසන්න වැඩි හෝ අඩු විය යුතුය. එහෙත් අතීතයේ මෙන්ම වර්තමානයේත් ඉතාම කලාතු-රකින් මෙම වයස් පරතරය අවුරුදු 15 -18 පමණ දක්වා වනු දැකිය හැක. කෙසේ වෙතත් දෙදනා අතර වයස් පරතරය සම්මතයට වඩා තරමක් වැඩි වන තරමට විවාහ ජීවිතය සාර්ථක මෙන්ම ප්‍රීතිමත් බව පෙනේ. ඒ අන් දෙයක් නිසා නොව බිරිඳ තම ස්වාමියාට අවනතව කීකරුව යටහත් පහත්ව ගරු කරන නිසාවෙනි. අතීතයේ පවුල් ආරවුල් හිත් අමනාපකම් ගහ බැන ගැනීම් දික්කසාද වීම් බොහෝවිටම නොමැති වූයේ මේ නිසාවෙනි. අද දෙමාපියන් මෙන්ම බොහෝ තරුණියන් උත්සාහ කරන්නේ සම වයසේම හෝ තමාට වඩා වසරක් දෙකක් වැඩිමහලු අයෙකු හා විවාහ වීමටය. යෝජිත විවාහ විෂයෙහි ද මෙකී තත්ත්වය සාධාරණය. එහෙත් සම්මතයට පරිබාහිර වූ මෙවැනි විවාහ බොහෝ විටම අන්ත අසාර්ථකය. මොවුන් සමාජයට සියල්ල වසන් කර හැඬූ කඳුළින් සිත් වේදනාවෙන් තම ජීවිත ගෙන යයි. එහෙත් සම්බුද්ධ දේශනාවට අනුව තමාට වඩා බොහෝ සෙයින් ළා බාල ස්ත්‍රියක් සරණ කර ගැනීම පුරුෂයෙකු පිරිහීමට හේතු වන බව ද දත යුතුය. එසේම පුරුෂයාට වඩා ස්ත්‍රිය වැඩිමහලු වන විවාහ ද බොහෝ දුරට අන්ත අසාර්ථකය.

විවාහය සම්බන්ධ තතු එසේ මුත් මංගල උත්සවයක වැදගත්ම උත්කර්ෂවත් මෙන්ම කාගේත් නෙත් සිත් පැහැර ගන්නා අංගයකි පෝරුව හා පෝරුවේ චාරිත්‍ර. පෝරු ඉතිහාසය වර්ෂ ගණනාවක් ඈතට දිව යයි. එසේම පෝරු ආරම්භය සම්බන්ධ මත ද කීපයකි. ඉන් එක් මතයක් වනුයේ සූර්ය වංශයේ ආරම්භක රජතුමා වන මහා සම්මත රජ දවස පෝරුව ආරම්භ වූ බවයි. තවෙකක් නම් සිදුහත් කුමරුගේ හා යසෝදරා දේවියගේ සරණ මංගල්‍යය තුළින් පෝරු උපත සිදුවූ බවයි. අද ද ගැමි සමාජය තුළ විවාහය පිළිගැනෙන්නේ පෝරුවේ චාරිත්‍ර වලින් අනතුරුවය. පුරාණ සරණ මංගල්‍යය යනු පෝරුව මතට නංවා දෑගිලි බැඳ අතපැන්වත් කොට තැලිපිලි ඇන්දවීමයි.

පුරාණයේ භාවිත වූ පෝරු වර්ග තුනකි. ඒ ඉහත සඳහන් කළ ලෙසම මහා සම්මත රජුගේ සහ මැණික් පාලී හෙවත් මුතු කෙලි කුමරියගේ විවාහය සඳහා සැකසූ පෝරුවත් සිද්ධාර්ථ කුමාරයා සහ යසෝදරා දේවිය සඳහා සැකසූ මඟුල් පෝරුවත් සාමාන්‍ය ජනයා සඳහා සැකසූ මඟුල් පෝරුවත් වශයෙනි. ඈත අතීතයේ මඟුල් පෝරු වෙනුවට හද්දා පිටිසර ගම්මානවල පැදුර එලා ඒ මත වී ඉස වී අතුරා මඟුල් චාරිත්‍ර විධ කළ බව සඳහන් වේ. පුරාණයේ මෙන්ම අදටත් මඟුල් පෝරුව සාදන තැනැත්තා කිලි කුණුවලින් තොරව පිරිසිදුව සතුටු සිතින් යුතුව සිල්වත්ව බලගැන්වූ ශුභ මුහුර්තයකින් එනම් කාර්ය සිද්ධි යෝගයක් සහිත ශුභ මුහුර්තයකින් නිවසට වම්පසින් හෝ මනාලයා නිවසට ඇතුළු වනවිට දකුණුපසින් සැමට හොඳින් දර්ශනය වන ඉඩකඩ ඇති තැනක් තෝරා එම ස්ථානය ශුද්ධ පවිත්‍ර කර අලංකාරය හා ගරු ගහම්බීරත්වය සුරැකෙන සේ හංස පූට්ටු, ලියවැල්, මල්වැල්, සත්ව, කුරුලු රූප ආදියෙන් කැටයම් කර පෝරුවේ ඉදිරිපස නැඟෙනහිරට මුහුණලා මඟුල් පෝරුව සාදයි. විශේෂයෙන් මේ කටයුත්තට සහභාගි කරගන්නේ තලතුනා සිල්වත් ගුණවත් අයයි. පෝරු සඳහා රත් හඳුන්, සුදු හඳුන් හෝ කිරි ගසක පළුදු නොවූ අලුත් ලෑලි යොදා ගනී. පුරාණයේ පෝරුවේ දිග වඩු රියන් 16ක් ද පළල වඩු රියන් 15ක් ද උස වඩු රියනක් ද වූ අතර එහි දොරටු 4ක් ද මුළු 8ක් ද තිබිණි. වර්තමාන පෝරුව දිග සත් රියන් ද පළල සතර රියන් ද උස රියනක් ද වන අතර දොරටු සතරක් ද එම දොරටු සතරේ පිපුණු පොල් මල් සහිත පුන් කළස් 4 ක් ද ඒ මත පොල් තෙල් පහන් වැටි 4 ක් ද තබනු ලැබේ. පෝරුවේ සම්මත දිග පළල ඉහත ආකාර වුව ද වර්තමාන පෝරු දිග පළලින් මෙන්ම දොරටු සංඛ්‍යාවෙන් ද වෙනස්ය. එය බොහෝ විට දොරටු 3 කි. කෙසේ වෙතත් එක් යුවලකට තැනූ පෝරුව නැවත වරක් නව යුවලකට භාවිතය අශුභය. පෝරුව උඩු වියන් සහිත වන අතර පෝරුව මත සහල් ලද පස් මල් ඉස ඒවා සුදු පිරුවටයකි. වැසිය යුතුය. එම පිරුවටය 4 රියන් නොවිය යුතුය. තවද පෝරුව නිර්මාණය කරන අතරතුර එය තනි නොකිරීම ද පුරාණ සිරිතකි. එසේම පෝරු නිර්මාණකරුවන්ට ගිතෙල් මිශ්‍ර කිරිබතින් ද බුලතින් ද සංග්‍රහ කිරීම අතීතයේ සිට පැවතේ.

පුරාණයේ මෙන්ම වර්තමානයේ ද යුවතියකගේ පවිත්‍රතාව පෙන්වීමට පෝරුව යොදා ගැනුණි. කුමර කුමරි බඹසර රැකි යුවලක් කුළුදුල් පෝරුවක නිවැරදිව කාර්ය සිද්ධි යෝගයත් සිටින සේ බලගැන්වූ ශුභ නැකතකින් නිවැරදි ස්තෝත්‍ර නිවැරදි අෂ්ටක ඝණ පිහිටුවා ශබ්ද නඟා ගායනා කිරීම පුරාණයේ පෝරු මස්ථකාරූඪ කිරීමයි. මෙලෙස පෝරු මස්ථකාරූඪ කරන්නේ කන්‍යාවන් පමණි. කන්‍යාවන් නොවන චරිතය කෙලෙසා ගත් අපිරිසිදු අයට පෝරු මස්ථාකාරූඪ වීම වස් වදින ක්‍රියාවකි. එහිදී එවැනි තැනැත්තියන්ගේ දෙපා වෙවුලා දහඩිය දමා අෂ්ටක කියන විට ක්ලාන්ත වී පෝරුව මත ඇද වැටීම සිදු වේ. මෙය ප්‍රායෝගිකව පරීක්ෂණාත්මකව අත්දුටු සත්‍යයකි. ඒ නිසා දැන් දැන් මෙය වළකනු වස් නොයෙකුත් සටකපට කම් ද භාවිත වනු දැකිය හැක. ඒ අතර පැයකට අධික කාලයක් ගත වන පෝරු චාරිත්‍ර විනාඩි 20 ක් 30 ක් තුළ උඩින් පල්ලෙන් අවසන් කිරීම, කුළුදුල් පෝරුවක් භාවිත නොකිරීම, අෂ්ටක ඝණ පිහිටුවා ශබ්ද නඟා නොකීම, ඉතාම සියුම් ලෙස අෂ්ටක උච්චාරණය මෙන්ම ඝණ වැරදීම, පාවහන් පැළඳ පෝරුවට ගොඩ වීම, පාවහන් පැළඳ අෂ්ටක කීම, අෂ්ටක කියන තැනැත්තා පිරිසිදු සිල්වත් ගුණවත් අයෙකු නොවීම, නිසි ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය පෝරුව සෑදීම සඳහා භාවිත කිරීම, පෝරුව නිසි ප්‍රමිතියෙන් යුතුව නොසෑදීම, පුරාණ සම්මත පෝරු වත්පිළිවෙත් චාරිත්‍ර වාරිත්‍ර විකෘති කර වර්තමානයට ගැළපෙන සේ හිතුමතේට නවීකරණය කිරීම ආදිය ඉන් සමහරකි. මේ නිසා අද චරිතවත් වුව ද නොවුව මඟුල් පෝරුවට නැඟ තම සහකරුත් හිත මිත්‍රාදීන් ප්‍රමුඛ හතර වරිගයේම ඥාතීනුත් රවටා යහතින් නිරුපද්‍රිතව මඟුල් පෝරුවෙන් බැසිය හැක.

පුරාණයේ විවාහ පත් වූ යුවල විවාහයට දින 7ක් පෙර සිට පේවී සිටියහ. ඔවුන් මත්ද්‍රව්‍ය මෙන්ම මස් මාංශ ආදිය ආහාරයෙන් ද වැළකුණහ. සමාජ ශාලා කිලි ගෙවල් මෙන්ම රෝහල් ආදියට යෑමෙන් ද වැළකුණහ. මෙකී කරුණු කාරණා පෝරුවේ සෙසු චාරිත්‍රවලට දායක වන්නන්ට ද පොදු වූහ. විශේෂයෙන් අෂ්ටක කියන තැනැත්තා තලතුනා සිල්වත් ගුණවත් අත්දැකීම් බහුල විවාහක කතාවේ දක්ෂ අයෙක් විය යුතුය. ඔහු මේ සඳහා පිරිසිදු පාවහන් රහිතව සුදු තලප්පාවක් බැඳ සහභාගි විය යුතුය. මෙහිදී ද දෙපාර්ශ්වයේම දෙමාපියන් සතර වරම් දෙවියන් උදෙසා පුන් කළස් සතර මත තැබූ පහන් දල්වන අතර මඟුල් බෙර හා සක් හඬ මැද මනාල යුවල පේරුව අභියසට කැඳවිය යුතුය. එහිදී ස්ත්‍රෝත්‍ර කියන තැනැත්තා ත්‍රිවිධ රත්නය වැද භූමි දේවියටත් දෙවියන්ටත් ආරාධනා කර ඊට පසු පෙර කී සේම බලගැන්වූ ශුභ මුහුර්තයකින් දෙපාර්ශ්වයේම මාමාවරුන් ලවා මනාල යුවල පෝරුවේ සිටුවීම සිදු කරයි. මෙහිදී මනාලයා දකුණුපසින් ද මනාලිය වම්පසින් ද පෝරුවට නංවයි. එහිදී මුලින්ම මනාලිය මනාලයාට බුලත් අතක් දී වදී. මනාලයා එම බුලත් අත පෝරුව මත අත හරී. එලෙස දෙදෙනා අත ගසා බුලත් අත් 7 ක් පෝරුව මත හෙලීම සිදු වේ. ඉන්පසු මනාලයා විසින් මනාලියට තැලිපිලි ඇන්දවීම, මංගල මුදු මාරුව, කර මාල බැඳීම, දෙදෙනා දෙයත්වල සුලැඟිලි රන් කෙන්දෙන් හෝ සමන් පිච්ච මල් 7ක් දැවටූ තුන් නූලෙන් තුන් වටයක් ඔතා බැඳ ඇතැම් පළාත්වල සිරිතට අනුව නුලේ කෙළවර පුච්චා දමා රන් කෙණ්ඩියෙන් හෝ හක් ගෙඩියෙන් සෙත් පිරිත් සජ්ඣායනා මැද එසේ නැත්නම් ස්ත්‍රෝත්‍ර ගායනා මැද අත පැන්වත් කරයි. ඇතැම් පළාත්වල පෝරුව මත මනාලයාට කිරිබත් පානීය ජලය ආදිය පිළිගැන්වීමත් මනාලිය අතින් සිදු වේ. පෝරු අෂ්ටක, සිලෝ කවිවලින් අනතුරුව බාලිකාවන් ඔත්තේ සංඛ්‍යාවක් ලවා පාලියෙන් හෝ සිංහලෙන් ජය මංගල ගාථ ගායනා කිරීම සිදුවන අතර කිරිකඩ සේලය ලෙස සුදු රෙදි කච්චියක් හෙවත් සුදු රෙදි යාර 20 ක් මනාලියගේ මවට පුදා මනාලිය බිව් කිරිවල වන්දිය ගෙවීම සිදු වේ. ඊට පසු ඥාතීන්ට බුලත් හුරුලු දී සෙත් පිරිත් කියා මනාලයා හා මනාලිය පෝරුවේ ඉදිරිපසින් මනමාල පාර්ශ්වයේ මාමා කෙනෙකු විසින් බස්සවයි. මෙලෙස බුලත් හුරුලු දීම රෙදි නැන්දාගෙන් පසු නවතයි.

තවද පෝරුව අසල මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් තබා ඒ මත බුලත් කොළයක් තබා ඒ උඩ කපුරු පෙති 3 ක් දල්වා මනාල යුවල ඉදිරියට අල්ලා අත ගස්සවා දෙදෙනාගේ හිස් වටා කරකවා පෝරුවෙන් බසිනවිට දොරකඩ තබා පළපුරුදු අයෙකු ලවා දෙකට පලයි. මෙහිදී පොල්ගෙඩිය දෙපලු කිරීම එක පහරින් කළ යුතුය. යම් ලෙසකින් පොල් ගෙඩිය නොබිඳුනහොත් අශුභය. දෙපලු වුවහොත් ශුභය. එසේම පොල් බෑ දෙක උඩුකුරුව වැටුණහොත් ගැහැනු දරුවන් ද යටිකුරුව වැටුණහොත් පිරිමි දරුවන් ද එකක් උඩුකුරුව අනෙක යටිකුරුව වැටුණහොත් ගැහැනු පිරිමි දරුවන් දෙවර්ගයම ද ලැබෙන බවට ඉගියක් බව පැරැන්නෝ විශ්වාස කළහ. එය කොතෙක් දුරට සත්‍ය ද යන්න නම් ගැටලුවකි. සාමාන්‍යයෙන් පෝරුවේ චාරිත්‍ර මනාලියගේ නිවසේ හෝ ප්‍රිය සම්භාෂණ ශාලාවක සිදු කළ ද මෙම චාරිත්‍රය විහාරස්ථානයක සිදු කිරීමට හැකි නම් එය ඉතා අගනේය. කෙසේ වෙතත් සෑදූ පෝරුවක් ගලවා ඉවත් කළ යුත්තේ විවාහ මංගල උත්සවයෙන් පසු 5 වන හෝ 7 වන දිනවලදීය. මෙය නැකතට සිදු කළ යුත්තකි. විශේෂයෙන් වස් දොස් පහවනුවස් පොල් බිඳීම, පුන්කළස් බිඳීම මෙන්ම පෝරුව කඩා බිඳ දැමීම ද අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. තවද විවාහයට කලින් තුනවැනි හයවැනි හා නමවැනි දිනවලදී මඟුල් පෝරුව නොසාදයි. කෙසේ නමුත් මඟුල් පෝරුවේ පඩි සංඛ්‍යාව ඔත්තේ විය යුතුය.

කරුණු කාරණා එසේ මුත් වර්තමානය වනවිට අංග සම්පූර්ණව පෝරු අෂ්ටක, සිලෝ කවි කීම මෙන්ම බුලත් අතුරන ලද පෝරුවක කැකුළු සහල් වී පොරි ලද පස්මල් ආදිය උපයෝගී කරගනිමින් මංගල පෝරු යන්ත්‍රය ඇදීමත් පඬුරු බුලත් කොළ දෙකක ඔතා පෝරුව මත තැබීමත් පෝරුව ඉඳුල් කිරීමේ චාරිත්‍රයක් දක්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment