රට බංකොළොත් කරපු අයට ප්‍රතිපත්ති  හදන්න දීලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යටිනුවරදී කියයි

106

රටේ ආදායම වැඩිකර ගැනීමට බදු ව්‍යුහය වෙනස් කළ යුතු බවත් රජයක් ලෙස වියදම් කරන විට එය ඉලක්ක ගත විය යුතු බවත් එම ඉලක්ක සම්පූර්ණ කළ යුතු බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ තුළින් ආර්ථිකය හැකිලෙන බවත් එවැනි අවස්ථාවකදී කළ යුතු අලුත් වැඩක් වන්නේ අපේ රටට වර්ධන ක්‍රමෝපායක් හඳුන්වාදීම බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කුමන ආණ්ඩුවක් පැවතියත් පීඩනයක් අසහනයක් ඇති වුවත් එය අවම කිරීම රජයේ වගකීම වුවත් මේ රජය තුළ සමාජ ආරක්‍ෂණ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන් ළඟ ඇත්තේ රාජපක්‍ෂ පවුල රැකගෙන මැති ඇමැතිවරු සංවර්ධනය කිරීමේ ආරක්‍ෂණ වැඩපිළිවෙළක් බවත් මේ වන විට රජය ඇමැතිවරු  38 ක් සිටින බවත් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කළ නාමල් රාජපක්‍ෂ නියෝජනය කරන ජාතික සභාවට රට දියුණු කිරීමට රටේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා නිර්මාණය කිරීමට අවශ්‍ය කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමට භාරදී ඇති බවත් එය හාස්‍යයට කරුණක් බවත් රට විනාශ කළ රාජපක්‍ෂලගෙන්ම විසඳුම් ලබා ගැනීමට සිදුව ඇති බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ඔවුන් ජනතාව අන්දවමින් කටයුතු කරන බවයි.

මෙවැනි දේශපාලන මගඩිවල කොටස්කරුවන් වීමට සමගි ජනබලවේගය හෝ සමගි ජනබල සන්ධානය සූදානම් නොමැති බවත් කියා සිටියේය.

සමගි ජනබලවේගයේ යටිනුවර ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්විණි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජනබලවේගයේ යටිනුවර ආසන සංවිධායක  ගැමුණු අභයසුන්දර මහතා විසිනි. විශාල පිරිසක් එයට එක්ව සිටියහ.

බංකොලොත් භාවයෙන් යුත්, ණය ගෙවා ගත නොහැකි විනාශවූ රටක් ගොඩනැඟීම සඳහා වත්මන් රජය විසින් ස්ථායීකරණය ඇති කරනවා කියා ආර්ථිකය සංකෝචනය හෙවත් කුඩා කරන බවත් ඒ තුළින් රටේ ඉල්ලුම අඩුකර උද්ධමනයට විසඳුම සහ වෙනත් සාර්ව ආර්ථික විචල්‍යයන්ට විසඳුම් ලැබෙන බව සිතා සිටින බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස සමයේ යුද්ධ 2 ක් සහ අර්බුද රැසක් පැවතියත් ආර්ථික සංකෝචනයක් සිදුනොකළ බවත් ඔහු ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනක් ආරම්භ කළ බවත් ඒ සඳහා කුමන විවේචන පැවතියත් වර්තමානය වන රටේ ආදායම තීරණය කරන්නේ ඒ ඇඟලුම් කර්මාන්ත බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අකාලයේ මිය නොගියා නම් ඇඟලුම් කර්මාන්තපුර 500 කට වඩා නිර්මාණය කර අපේ රට සුරපුරයක් බවට පත්කරන බවයි. එමෙන්ම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන කිසිවක් මේ රජය ජනතාවට එළි නොකරන බවත් ඔවුන් තමන්ට වාසි කොටස පමණක් ඉදිරිපත් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුව බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මිනිසුන්ට බොරු නොකියා ඩොලර් බිලියන 2.9 අපේ රටට ලබා ගැනීමට අවශ්‍ය සහාය ඉල්ලා සිටියොත් ලබාදෙන බවත් එසේ නොමැතිව රටට බොරු කියා අපෙන් උදව් ඉල්ලුවොත් ඒ සඳහා කිසිසේත්ම එකඟ නොවන බවත් පැවසීය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඉමිතියාස් බාකීර් මාකර්, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මයන්ත දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද මීට එක්ව සිටියහ.

සමන්තී වීරසේකර

 

advertistmentadvertistment
advertistmentadvertistment