මනු සතාට නොදැනෙන, වන සතාගේ දුක

242

(2023. 08. – 04, 05 සහ 06 දිනවල යාල ජාතික උද්‍යානයේ කරන ලද පාරිසරික සංචාරයක් ඇසුරිනි.)

ඝර්ම කලාපීය රටක් ලෙසින් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ජාතික වනෝද්‍යාන සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පවතිනුයේ ඉහළ ඉල්ලුමකි. විවිධ රටවල සංචාරකයන් යාල ජාතික උද්‍යානයම හෝ වෙනත් එවැනි උද්‍යානයක් ඉලක්ක කරගනිමින් පැමිණීමත් සුලභ කරුණකි. රටට විදෙස් වත්කම් ලැබීමත් හා දේශීයව ව්‍යාපාරික වශයෙන් ඉතා සරු මට්ටමක් පැවතීමත් නිසා මෙම පාරිසරික සංචාරක කර්මාන්තය බොහෝ දෙනකුට ඉතා වාසිදායක වැඩපිළිවෙළක් බවට පත් ව ඇත. මෙම වනෝද්‍යානවල ජීවත් වන සතුන්ගේ පිහිටෙන් මනු සතාට වාසි පිට වාසි ගෙන දුන්නත්, ඒ වෙනුවෙන් මෙම සතුන් විඳවන පීඩාවන් පිළිබඳ මනු සතාට හැඟීමක් දැනීමක් නැත. ජාතික වනෝද්‍යානයන්හි, විශේෂයෙන් මෙම වියළි සමයේ සතුන්ගේ පීඩාවන් පිළිබඳ මනු සතාගේ ස්නායු පද්ධතිය මීට වඩා සක්‍රීය විය යුතුය. මෙය ඒ වෙනුවෙන් තබන විශේෂ සටහනකි.

මනු සතාට නොදැනෙන, වන සතාගේ දුක

මිහිතලයේ ගොඩබිම ජීවත් වන විශාලතම සත්ත්වයා වන අලියාගේ පටන් කුඩාම සත්ත්වයින් දක්වා පුළුල් පරාසයක සත්ත්ව ගහනයක් යාල ජාතික උද්‍යානයේ ජීවත් වෙති. ඈත අතීතයේ පටන් විවිධ වූ පරිපාලන පරිවර්තනයන්ට ලක්වෙමින් මෙම සතුන් ඇතුළු පරිසර පද්ධතිය ද පරිණාමය වී ඇත. විශේෂයෙන් බි්‍රතාන්‍ය ජාතීන් විසින් තම විනෝදාංශයක් ලෙසින් සතුන් දඩයම් කිරීම සඳහා ද යාල වනෝද්‍යානය භාවිත කර ඇත. ක්‍රමයෙන් මිනිසාගේ සමාජ ක්‍රියාවලියේ පරිවර්තනයත් සමගින් වර්තමානය වන විට දී ඉතා ව්‍යාකූල වූ ජන ජීවන රටාවක් උරුම කරගනිමින් අසහනයෙන් පිරි, පීඩාකාරී වූ මානව පරපුරක් බිහිකර ඇත. බටහිර සංවර්ධන මාදිලියට අනුව මෙය දියුණුව යැයි හැඳින්වුවත්, සත්‍ය වශයෙන් බලන විටදී සිදුව ඇත්තේ ඇස්බැන්දුම් සමාජ පරිවර්තනයක් විනා දියුණුවක් නොවේ. දැඩි අසහනකාරී මානව පරපුරක් බිහිකර ඇති නිසා මෙම මානව කණ්ඩායම් තම අසහනකාරී දෛනික ජීවිතයෙන් යම් සැනසීමක්, අස්වැසිල්ලක් ලැබීම සඳහා සොබාදහම අක්‍රමණය කිරීමට පටන් ගෙන ඇත. නූතන සමාජයේ මෙම ආක්‍රමණය හැඳින්වීම සඳහා “පාරිසරික සංචාරක කර්මාන්තය“ නමින් යෙදුමක් ද භාවිත කරනු ලබයි. විදෙස් සංචාරකයන් ඇතුළු දේශීය සංචාරකයන් අතර ඉතා සීමිත පිරිසක් පමණක් පාරිසරික සංචාරක කර්මාන්තය යනු කුමක් ද යන්න නිසි අවබෝධයෙන් කටයුතු කළත් අති බහුතරයක් දේශීය සංචාරකයන් කරනුයේ මේ නමින් සොබාදහම විනාශ කිරීමකි.

යාල ජාතික වනෝද්‍යානයට පිවිසෙන ප්‍රධාන දොරටුවක් වන කිරින්ද හරහා ඇතුළු වන පලාටුපාන පිවිසුමෙන් මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන් අති විශාල ප්‍රමාණයක් ඇතුළු වෙති. පලටුපාන පරිපාලන කේන්ද්‍රස්ථායේ සවිකර ඇති උපදෙස් පුවරුවල ජාතික උද්‍යානයේ සංචාරකයන් හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ව ඉතා පැහැදිලිව දක්වා ඇතත්, දේශීය සංචාරකයන් ඒවා කියවන බවක් නිරීක්ෂණය වූයේ නැත. එතැනට යන සංචාරකයන් ඉතා කාර්යබහුල හා ව්‍යාකූල තත්ත්වයට පත්වනුයේ සෆාරි ජීප් රථ රියැදුරන් මගින් සේවා සැපයීම සඳහා කරනු ලබන පීඩාකාරී හැසිරීම් ද නිසාය.

යාල ජාතික උද්‍යානයේ භාරකරු හෙවත් ප්‍රධාන පරිපාලන නිලධාරී වන මනෝජ් විද්‍යාරත්න මහතා අදහස් දක්වමින් අප සමග පවසා සිටියේ දිනකට සපාරි සංචාරක ජීප් රථ 300ත්, 350ත් අතර ප්‍රමාණයක් වනෝද්‍යානයට ඇතුල් වන බවයි. මෙතරම් වාහන සංඛ්‍යාවක් උදේ – සවස වශයෙන් උද්‍යානයේ සැරිසරන විටදී දැඩි නියං තත්ත්වයක් යටතේ සතුන් වෙත ඇති කරනුයේ දැඩි පීඩාවකි. පෝලිමට වාහන යනෙන විටදී නැගෙන දූවිල්ල හේතුවෙන් මාර්ග දෙපස ඇති පඳුරු ඒවායෙන් පිරී ඇත. අපේ ප්‍රධාන නගරවල ඇති වාහන තදබදය වනෝද්‍යානය තුළත් දැකිය හැකිය. ඇතැම් සංචාරකයින් හා සෆාරි වාහන රියැදුරන් දිගින් දිගටම ජංගම දුරකථන භාවිතයෙන් සතුන් සිටින ස්ථාන එකිනෙකාගෙන් විමසීමත් අනිවාර්ය ක්‍රියාකාරකමක් බවට පත්කරගෙන ඇත. මිනිසාට වඩා බොහෝ සතුන් භාහිර සංඥාවලට ඉතා සංවේදී වන අතර මෙලෙස ජංගම දුරකථන සංඥා ඇතැම්විට එම සතුන්ගේ ජෛවීය පැවැත්මට හානිදායක වනවා විය හැකිය. (මේ පිළිබඳ පුළුල් පර්යේෂණයක් මෙරට විශ්වවිද්‍යාලවල ජෛව විද්‍යාත්මක ක්ෂෙත්‍රෙහි විද්‍යාර්ථීන් කරන්නේ නම් එය ඉතා වැදගත් පර්යේෂණ තේමාවක් වනු ඇත.)

මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජල හිඟයත් හා ආහාර හිඟයත් විසින් සතුන් ඉතා ප්‍රභල ව පීඩාවට පත්කර ඇති පසුබිමක අසංවේදී මනුසතාගේ සොබාදහම ආක්‍රමණය කිරීමේ නූතන විලාසිතාව විසින් එය දෙගුණ තෙගුණ කර ඇත. අලියෙක් හෝ දිවියෙක් හෝ වෙනත් සතෙකු දුටුවිටදී එම සතාට හිරිහැරයක් වන පරිදි ඡායාරූප ගැනීමටත්, ශබ්ද නැගීමටත්, වාහන සමීපයට ගැනීමටත් …. ආදී විවිධ වූ බාධාවන් කරති. එය සතාගේ දෛනික චර්යාවන්ට හානියක් බැව් මේ පිරිස්වලට දැනෙන්නේ නැත. මනු සතාගේ මනදොළ වෙනුවෙන් සියලු සතුන්ගේ ආත්මයන් පාවාදීමට සිදු ව ඇත. පාරිසරික සංචාරක කර්මාන්තය යනු මෙය ද ? මෙලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව මෙන්ම සැතපුම් දහස් ගණන් ගෙවා විදෙස්වල සිට මෙරටට සංචාරකයන් පැමිණෙනුයේ අපේ සතුන් නැරඹීමට නේද ? එසේ නම් ඒ සතුන්ට කිසිම හිරිහරයක් නැති ව එම සතුන් ව ආරක්ෂාවෙන ආකාරයෙන් කටයුතු කිරීම විනා සතුන් ව පීඩාවට පත්කරන මනුසතාගේ චර්යාවන් පිටුදැකිය යුතුය.

යාල ජාතික උද්‍යානයේ වත්මන් තත්ත්වය පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මනෝජ් විද්‍යාරත්න මහතා පවසා සිටියේ මේ දිනවල විදේශීය සංචාරකයන් පැමිණීම ඉතා ඉහළ ගොස් ඇති බවයි. ඔස්ටේ්‍රලියාව, චීනය, රුසියාව යන රටවල සංචාරකයන් වැඩි වී ඇති අතර ඉදිරි මාසය සඳහා ද යාල ජාතික උද්‍යානය වටේ පිහිටි සියලුම හෝටල් කාමර මේ වන විටත් වෙන්කර ඇත. එලෙස බලන විටදී මෙම වනෝද්‍යාන නිසාම රටට එන ඩොලර් ආදායම වැඩි වී ඇතත්, ඒ වෙනුවෙන් හඬක් නැතිව පීඩා විඳින සතුන්ගේ දුක පිළිබඳ මානවයාගේ අසංවේදීතාව ප්‍රශ්නයක් බවට පත්ව ඇත. යාල බලධාරීන් විසින් සතුන්ගේ පීඩාවන් අවම කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරමින් බවුසර් රථ යොදාගෙන දිනකට වතුර ගැලුම් ලක්ෂයක් පමණ රැගෙනවිත් කුඩා ජලාශවලටත්, ඉදිරිකර ඇති කොන්ක්‍රීට් ටැංකිවලටත් මුදාහරිති. එම බවුසර් රථ පැමිණෙන තුරු පක්ෂීන් ඇතුළු සතුන් මගබලා සිටින දර්ශන ඉතා සංවේදී දර්ශනයන් ම විය. වනෝද්‍යානය තුළ තිබෙන ජලාශයන්හි ජල මට්ටම් මේ වන විට 20%ක් පමණ දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය වර්ෂයේ ඊසාන දිග මෝසමින් ලැබුණු වර්ෂාපතනය අවම වීම ඊට හේතුව බැව් මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය. එසේම මේ තත්ත්වය ඉදිරියට මීට වඩා බරපතළ විය හැක්කේ ගෝලීය උෂ්ණත්වය එන්න එන්නම ඉහළ යාම නිසා වාෂ්පීකරණ මට්ටම්ද ඉහළ යා හැකි බැවිනි.

යාල ජාතික උද්‍යානයේ මේ දිනවල සතුන්ට ඇති වී තිබෙන පීඩාවන් තවදුරටත් වර්ධනය කරන තවත් මානව ක්‍රියාකාරකමක්ව ඇත්තේ සත්ත්ව දඩයමයි. පාරිසරික සංචාරකයෙක් ලෙසින් සොබාදහම වින්දනය කිරීමට යන අයෙකුට වන සතුන්ගේ මස් අනුභවය කළ හැකි ද? මෙලෙස ව්‍යාජ වූ පාරිසරික සංචාරකයන්ගෙන් තිබෙන දඩමස් ඉල්ලුම නිසා ම ඇතැම් කණ්ඩායම් මුදල් ඉපයීම අරමුණු කරගනිමින් කන්න නැතිව, බීමට ජලය නැති ව අසරණ ව සිටින සතුන් මරා මස් අනුභව කරති. පාරිසරික සංචාරක කර්මාන්තයේ නාමයෙන් විවිධ ව්‍යාපාර කරමින් සතුන් ව පෙන්වා මුදල් හම්බ කරන අතර සතුන්ගේ මස් විකුණා මුදල් උපයති. අපේ පාරිසරික සංචාරයන් වෙත පාරිසරික සාක්ෂරතාව යනු කුමක් ද යන්න පිළිබඳව ප්‍රථමයෙන් සන්නිවේදනය කළ යුතුව ඇත.

යාල ජාතික උද්‍යානයේ 2023 ජුනි මස ආදායම රුපියල් කෝටි 8ක් පමණ වූ අතර එය ජූලි මාසය වන විටදී කෝටි 16 ඉක්මවා තිබුණි. අගෝස්තු මාසයේ එය තවත් ඉහළ යනු ඇත. මෙලෙස අපට ලැබෙන ඩොලර් හෝ රුපියල් මත පමණක් තීන්දු ගනිමින් සතුන්ගේ පීඩාවන් එලෙසම සතුන් ට උරුම කරන්නේ ද ? නැත්නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම උද්‍යාන සැලකිල්ලට ගනිමින් පීඩාවන් අධිකම උද්‍යාන යළි ප්‍රකෘති ත්ත්වයට පත්වන තුරු තාවකාලිව දින කීපයකට හෝ මනුෂ්‍ය වාසයෙන් තොරව සතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරය ලබාදෙන්නේද යන තීන්දු ගත යුතුය.

දැඩි පීඩාකාරී වූ වියළි කාලගුණික පාරිසරික තත්ත්වයන් යටතේ සතුන් සමග ජීවත් වෙමින් සතුන්ගේ ජීවත්වීමේ අයිතිය ද රැකෙන පරිදි මනුසතාගේ අනේකවිධ පීඩාවන් සමග පොරබදිමින් කටයුතු කරන නිලධාරීන්ට අපේ ගෞරවය හිමිවිය යුතුය. යාල ජාතික උද්‍යානයේ සේවක පිරිසටත්, විශේෂයෙන් උද්‍යානයක පරිපාලන ව්‍යූහයට මුළුමනින්ම අනුගතව “පරණ බුතව” බංගලාවේ සේවය කරමින් උපරිමයෙන් අපේ අවශ්‍යතා ඉටුකරදුන් සේවක මහතුන් දෙපළටත් ස්තූති වන්ත වෙමි.

හඬක් ඇති මනුසතා, හඬක් නැති සත්වයාට හඬක් වෙමින් එම සතුන් ව ආරක්ෂා කරනවා විනා, ඉවක් බවක් නැති ව සතුන්ගේ වාසස්ථානවලට කඩාවැදී කරන සත්ත්ව හිංසාව යනු පාරිසරික සංචාරය නොවන බැව් අවධාරණය කරමි.

● සුනිල් උඩුකල

advertistmentadvertistment
advertistmentadvertistment