ජනතාවටම ගෙවන්නට සිදුවූ මත්තල ගුවන් තොටුපළේ බර

492

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා තියුණු තරගයකින් පරාජය කර 2005 වර්ෂයේ එවකට මහින්ද රාජපක්ෂ මහතා මෙරට විධායක ජනාධිපති බවට පත් වීමත් සමග චීනය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරගනිමින් චීන ණය මූලික කරගත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙරට ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙසට ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආකාරයට විදේශීය විනිමය සංචිත හිස්වූ, ණය බරින් මිරිකී ගිය බංකොළොත් රටක් බවට පත් විය.

ඉවක් බවක් නොමැතිව චීනයෙන් ඉහළ පොලියට ණය ලබා ගෙන දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට පාලකයන් කටයුතු කිරීමේ ආදීනව මේ වන විට සමස්ත ජනතාවම විඳිමින් සිටියි. රටවල් ණය උගුල් වල පටලවා, චීනය තම දීර්ඝ කාලීන මූලෝපායන් මුදුන්පත් කර ගනිමින් සිටියි. එම උපක්‍රමවලට හසුවී අවසානයේ අහිංසක ජනතාවට වන්දි ගෙවීමට සිදු වී ඇත. අවසානයේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා පැහැදිලි සැලැස්මක් නොමැතිව සමස්ත ජනතාව සහ නූපන් අනාගත පරම්පරාව ද දැවැන්ත ණය අර්බුදයක ගිල්වා ඇත. ශ්‍රී ලංකාව පළමු වරට විදේශ ණය පැහැර හැරීම සිදු කළේ පසුගිය වසරේ මැයි මාසයේදීය. චීනය, ජපානය සහ ඉන්දියාව මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර චීනයේ එක්සිම් බැංකුව මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4කට වඩා ප්‍රමාණයක ණය ලබා ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සීම් බැංකුව විසිනි.

චීන ණය ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

මත්තල ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීමට වන තීරණය හුදු දේශපාලන තීරණයකි. එය පිළිගත් හා විධිමත් ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ඉදිකර ඇත. මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා සැලසුම් කිරීමේ දී ලෝකයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීමේදී භාවිත කරන නිර්ණායක කිසිවක් සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නොමැත. ගුවන්තොටුපළක් ලෙසට සංවර්ධනය කිරීමට තෝරා ගෙන ඇති ප්‍රදේශය වන ගහනයක් සහිත අලි ඇතුන්ගේ නිජ බිමකි. මොනරුන් බහුල ප්‍රදේශයක් බැවින් ගුවන් යානා ඉහළට එසවීම සහ ගුවන් යානා ගොඩ බැස්සීම ඉතා අවදානම්කාරී වේ. පියාසර කරන අවස්ථාවේ මොනරුන් ගැටීමෙන් ගුවන් යානා කිහිපයක්ම මීට පෙර අනතුරට ලක් විය. හම්බන්තොට අවට ප්‍රදේශය ජන ඝනත්වයෙන් අඩු ප්‍රදේශයකි. මත්තල ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඌන සංවර්ධිත ප්‍රදේශයකි. එහි අවට ජනතාවට විදේශ ගමන් බිමන් යන පිරිසක් නොවන අතර ගුවන්තොටුපළෙහි ස්ථානීය පිහිටීම ඉලක්ක ගත මගීන්ට තෝතැන්නක් නොවෙයි. මීට අමතරව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අවට තිබිය යුතු අවම පහසුකම්වත් මත්තල අවට නොමැත. මෙම ගුවන් තොටුපළ භාවිත කරන මගීන්ට විශාල වියදමක් සහ විශාල දුරක් ගෙවා තම ගමනාගමන අවශ්‍යතා ඉටු කර ගැනීමට සිදු වී ඇත.

2013 වසරේ විවෘත කරන ලද එම ගුවන් තොටුපළ සඳහා වැය කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 240 කි. ගුවන් යානා නොමැති ගුවන් තොටුපළක් වීම නිසා 2016 වසරේ දී වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපළට අයත් ගොඩනැඟිලි යොදා ගැනීමට එවකට යහපාලන ආණ්ඩුව කටයුතු කරන ලදී. මත්තල ගුවන් තොටුපළේ වියදම දිගින් දිගටම කටුනායක ගුවන් තොටුපළෙහි ආදායමෙන් පියවීමට කටයුතු කිරීම දැක ගත හැකිය. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම වාර්තාවකට අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් 2022 වර්ෂයේදී මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා විසිහය ගුණයකින් වැඩිවී තිබුණි.

2022 වර්ෂයේ දී මත්තල ගුවන් තොටුපළෙහි ඇති වූ පාඩුව රුපියල් මිලියන 22,214කි. මේ සඳහා විදේශ විනිමය අලාභය ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂ 06 තුළ එනම් 2017 සිට 2022 දක්වා මත්තල ගුවන්තොටුපළ ලබා ඇති සමස්ත අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණන මගින් අනාවරණය කොට ඇත. පාඩුව 2021 වසරේදී කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකය. මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා ඇත. මෙකී ගුවන්තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුළ ගමන්කොට ඇති මුළු ගුවන් මගීන් සංඛ්‍යාව 103,324කි. මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි. ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර එම මුදල පලදායි ලෙස භාවිත කොට නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190ක ණය සඳහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 1,842ක මුදලක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවමින් සිටියි.

ගුවන් යානා නොපැමිණියත් ගුවන්තොටුපළෙහි කාර්ය මණ්ඩලය වශයෙන් 545ක පිරිසක් සේවය කරති. එයින් සමහරුන් දිනපතාම කොළඹ සිට මත්තලට බස් රථයකින් ප්‍රවාහනය කරනු ලබන බවටත් තොරතුරු හෙළි වී තිබිණි. රටේ මහජනතාවගේ බදු මුදලින් සම්පූර්ණයෙන් නඩත්තු වන තත්ත්වයකට මත්තල ගුවන්තොටුපළ පත්වී ඇති බව මේ අනුව පැහැදිලිය. ආදායම් නොලැබුවත් විශාල සේවකයන් පිරිසක් නඩත්තු කිරීමේ වගකීම ජනතාව වෙත පැටවී ඇත.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භයේදීම එහි ඵලදායිතාව පිළිබඳ ගැටලු පැන නැඟී තිබේ. හදිසි ගොඩබෑම් සඳහා රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් අත්‍යවශ්‍ය බවට කිසිදු තර්කයක් නැත. කිසිදු ආදායමක් ජනිත නොකරන ලෝකයේ පවතින හිස් ගුවන්තොටුපළක් ලෙසට මත්තල ගුවන් තොටුපළ වාර්තා අතරට එක්වී ඇත.

ඉහළ පොලී අනුපාත යටතේ විදේශීය රටවලින් ලබාගන්නා ණය රටේ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා යොදවා ගැනීමේදී එය පලදායි ලෙස යොදවාගත යුතුය. එවැනි ආයෝජන ව්‍යාපෘති පොදුවේ මහජනතාවටත් රටටත් වාසිදායක හා ප්‍රතිලාභ ගෙනඑන ඒවා විය යුතුය. එහෙත් මත්තල ගුවන්තොටුපළ වර්තමාන පරම්පරාව මෙන්ම අනාගත පරපුරද ණය කාරයන් බවට පත් කළ තවත් එක් නාස්තිකාර ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

● සුසිල් සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment