රටක් රනින් බැබලවූ රන් දියණිය…

1200

19 වන ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 තරුෂි දිවූ ආකාරය ජීවිතයේ ඉලක්ක හඹා යන කවරෙකු හෝ වේවා නරඹා තිබිය යුතු බවට සැකයක් නැත. ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කරමින් චීනයේදී මේ කුඩා කෙල්ල දැක්වූ දස්කමට මිලියන 22 කට ආසන්න වූ අපේ රටේ ජනතාව එක හිතින්ම සුභාශිංසන පතන බව ද නිසැකය.

ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් අවසන් වරට දිනාගෙන තිබුණේ මීට අවුරුදු 21 ට පෙර එනම් 2002 දී ය. ඒ වෙන විට තරුෂි කරුණාරත්න ඉපදිලාවත් නෑ. නමුත් දැන් තරුෂිට වයස අවුරුදු 18යි. මේ වසරේ උසස් පෙළ වාණිජ අංශයෙන් උසස් පෙළ භාගයට මුහුණ දීමට සිටින තරුෂි මලල ක්‍රීඩාවෙන් අත්පොත් තියන්නේ උඩුදුම්බර ප්‍රදේශයේ තිබෙන චූලාභය ද්විතික පාසලෙන්.

ප්‍රාථමික අධ්‍යාපනයේ සිට හත්වන ශ්‍රේණිය දක්වා ඇයට මෙහිදී ඉගෙනුම ලැබෙන අතර වාරයේ පස්වන ශ්‍රේණියේ දී විශේෂ සිදුවීමක් වේ. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබමින් තරුෂි මලල ක්‍රීඩාවේ ජාත්‍යන්තරය ජය
ගන්නා මාවතට පිවිසෙන්නට මුල් පොත් තබන්නේය.

එදා එලෙස ගත් ආරම්භය අද වන විට තරුෂි ලෝකයම දිනා හමාරය. නමුත් ඇය තවමත් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකි. ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිය දෙමාපියන් තම නිවෙස් ද අතහැර තාවකාලික නවාතැන් පොළක් සොයා ගනිමින් සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හා ක්‍රීඩාව වෙනුවෙන් උඩුදුම්බර සිට මැණික්හින්න මල්පාන ප්‍රදේශයට පැමිණෙනවා. ඒ අනුව 7 ශ්‍රේණියේ සිට තරුෂි වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට පිවිස ක්‍රීඩාවට ද නව ජවයකින් පිවිසෙමින් වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු ගුරුතුමන් යටතේ සිය දක්ෂතා කලඑළි නංවනු ලබයි.

මෙවර පැවති 19 වන ආසියානු මලල ක්‍රීඩා උළලේ දී මීටර් 800 ධාවන ඉසව්ව මිනිත්තු 2.03.20 ක කාලයකින් නිමා කරමින් වසර 21කට පසුව ශ්‍රී ලංකා මාතාව රන් පදක්කමකින් සරසන්නට සමත් වූ ඇය මෙතෙක් ආ ගමන් මග සුව පහසු මල් යහනා මතින් ආ එකක් නොවුනි.

තවමත් වයස අවුරුදු 18 වියේ පසුවන තරුෂි මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 වෙනුවෙන් රන් පදක්කම දිනා ගෙන පැයක කාලයක් ගතවීමට මත්තෙන් මීටර් 400 සහය දිවීමේ ඉසව්ව ද නියෝජනය කරමින් ලක් මවට තවත් පදක්කමක් රැගෙන ඒමට සමත් විය. මැදිදුර ධාවන ඉසව්වකින් රන් පදක්කමක් වසර 52ක ට පසුව, 1970 වර්ෂයේ එස්. එල්. බී. රෝසා රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමෙන් පසුව වීමද විශේෂත්වයක් වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් හිමිකර ගෙන ඇත්තේ 2002 වර්ෂයේ දමයන්ති දර්ශා විසිනි. මෙම ඓතිහාසික ජයග්‍රහණයක් රටට ගෙනා තරුෂි තවමත් වලල ඒ රත්නායක මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. 1951 වර්ෂයෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාව හිම්කරගත් පදක්කම් 12න් 11ක්ම දිනාගෙන ඇත්තේ මලල ක්‍රීඩාවෙන් වීමද විශේෂත්වයකි.

වසරක් තුළ දී ජාත්‍යනතර මලල ක්‍රීඩා රන් පදක්කම් ත්‍රිත්වයක් හිමිකරගත් ළාබාලම එකම ක්‍රීඩිකාව ලෙස තරුෂි කරුණාරත්න ඉතිහාසයට එක්වේ. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රන් පදක්කම (අවුරුදු 20න් පහළ), ආසියානු ශුරතා මලල ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනා ගැනීම (මීටර් 800), ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 රන් පදක්කම දිනා ගැනීම පැසසුම් සහගතය.

රටක් රනින් බැබලවූ රන් දියණිය…

1990 කාල වකවානුවේ මහනුවර වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ. මේ පාසලට එනවා ක්‍රීඩා ගුරුවරයෙක්. ඔහු එක ක්‍රීඩකයෙක් එක්ක සමස්ත ලංකා තරගාවලියකට එනවා. නමුත් මූලික වටයෙන්ම ඒ ක්‍රීඩකයාට ඉවත් වෙන්න සිදු වෙනවා. ඊට පස්සේ ඔහු පාසලේ ක්‍රීඩා කරන ළමයින්ට ඉලක්කයක් ලබා දෙනවා. ඒ තමයි අවුරුදු තුනකින් ඉස්කෝලේ මධ්‍යම පළාත් මලල ක්‍රීඩා ශූරතාව දිනන්න ඕන කියන එක. ඒ කියූ ලෙසම 1993 දී මධ්‍යම පළාත් ශූරතාව දිනනවා. ඊට පස්සේ සැලසුම් කරන්නේ සමස්ත ලංකා ශූරතාව ගන්න. ඒකත් 1998 දී දිනාගන්න මෙම ධෛර්යමත් ගුරුවරයාගේ අති දක්ෂ සිසු සිසුවියන් සමත් වෙනවා. එදා ඉඳලා ලංකාවේ පාසල් මලල ක්‍රීඩාවේ ඉතා ප්‍රබල පාසලක් බවට වලල ඒ. රත්නායක මාධ්‍ය මහ විදුහල පත් වෙන්නෙ ලංකාවේ නම ගිය පාසල් සියල්ල අභිබවමින්. ඒ වාගේම 2000 වසරේ ඉඳලා මේ දක්වා නොකඩවා සමස්ත ලංකා බාලක සහ බාලිකා ශූරතා දෙකම විසිවතාවකට වඩා දිනලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ශූරතා 100කට ආසන්න සංඛ්‍යාවක් බාලක බාලිකා ද්විත්වයෙන්ම දිනාගෙන තියනවා. හැබැයි මේ ඔක්කොම කරන්නෙ මේ ළමයින්ගේ සහ අර කිව්ව ගුරුවරයාගේ ධෛර්යය සම්පන්න බව නිසා මිසක් වෙන හේතුවක් නිසා නොවේ. මීටර් 200ක නිසි ප්‍රමිතියකින් තොරව තියෙන ක්‍රීඩා පිටියක පුහුණු වෙලා 800ප ඉසව්වෙන් ආසියානු ශූරිය වන තරුෂිව බිහි කරපු ඔහු සැබැවින්ම මිහිපිට ගුරු දෙවියෙක්. ඔහුගේ ඒ කැපවීමට සැබැවින්ම උත්තමාචාරය පිරිනැමිය යුතුය. ඒ නමින් ඔහු සුසන්ත ප්‍රනාන්දු සර්. ලංකාවේ සැඟවුණු දක්ෂ දරුවන් කරලියට ගේන ඔහු සැබෑ වීරයෙක්. වසර 33ක වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන මේ සුවිශේෂ පුද්ගලයා වත්තේගම අධ්‍යාපන කලාපයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය හොබවයි. ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැත්තෑ තුන් දෙනකුගේ පුහුණුකරු වීමම ඔහු ගැන තවත් උදම් ඇනීමට දෙයක් නොමැති තරම්ය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ලබා දී ඇති ජාත්‍යන්තර මලල ක්‍රීඩා පදක්කම් ගණන 66කි. ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 වර්ෂයේදී පිදුම් ලබන්නේ ද සුසන්ත ප්‍රනාන්දු මහතාය. වයස අවුරුදු 13 දී උඩුදුම්බරින් පැමිණි තරුෂි සුසන්තට හමුවන්නේ වලදීය. සුසන්ත ප්‍රනාන්දු මහතාගේ පුහුණුවීම් හා මඟ පෙන්වීම යටතේ පසුගිය කාලය තුළ දී නව ශ්‍රී ලංකා වාර්තා රැසක් පිහිටුවමින් දක්ෂතා දැක්වීමට තරුෂිට හැකියාව ලැබිණි.

වලල ඒ. රත්නායක විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන තවමත් 18 හැවිරිදි වියේ පසුවන තරුෂි කරුණාරත්න සිය දෙමාපියන් සමඟ දැනට පදිංචිව සිටින්නේ මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ කුලී නිවසක වීමද පුදුම සහගතය. වරක මේ අපූරු පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි. “ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්න තියෙන හොඳම අවිය මධ්‍යම පළාතේ තිබෙන්නේ. ඇය තවම පාසල් වියේ පසුවන ක්‍රීඩිකාවක්. ඒක තමා විශේෂත්වය. අපි පරිස්සමින් මේ සම්පත රැකගත යුතුයි. මේ වන විට ඇය ජාත්‍යන්තරය, ආසියාව දිනා හමාරයි”. නමුත් ඔලිම්පික් සිහින සොයන ශ්‍රී ලංකාවට අනාගතය පෙන්වන තරුව ලෙස තරුෂි සිය පුහුණුකරු විසින් මේ ලෙස හඳුන්වනු ලැබුවා. එය ක්‍රමිකව වර්ධනය වෙමින් ආසියාව ජය ගනිමින් ඇය තවත් පියවරක් ඉදිරියට තබා ඇත්තේ ඒ තමන් බව පසක් කරමිනි.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී තරුෂි ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථ හයක් ලබා ගනිමින් උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට වාසනාවන්ත විය. අපොස උසස් පෙළ විභාගය දිනෙන් දින කල් යත්ම තරුෂිගේ රන් සිහිනයට ළඟා වීමේ දොරටුව ටිකෙන් ටික ළංවීම ද දෛවෝපගත සිදුවීමක් යැයි කිව හැකිය.

ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් සිහින තරුව මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක විදුහලින් බිහිවීමේ සිහිනය යථාර්ථයක් වන ලකුණු චීනයේ පැවති දහනම වන ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි කරුණාරත්න විසින් දැක්වූ දක්ෂතා වලින් පෙන්නුම් කළේය.

ආර්ථික අපහසුතා රැසක් මැද තම ජීවිතය ගෙවන දෙමාපියන් තරුෂි ගේ ක්‍රීඩා දිවිය අර්ථවත් කිරීම වෙනුවෙන් මේ වන විට තාවකාලික නවාතැන් පොළක නතර වී ඇත. කෙසේ නමුත් ජාතික තලයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරය ජය ගනිමින් ශ්‍රී ලංකා නාමය ලොව සුපතළ කරන්නට වෙරදරන දිරිය දියණිය ලෙස තරුෂි ශ්‍රී ලාංකිය මලල ක්‍රීඩා ඉතිහාසයට එක්වී හමාරය. නමුත් ඇයව රැකගනිමින්, අවශ්‍ය පහසුකම් සපයා දෙමින්, අනාගත ඔලිම්පික් සිහිනය තෙක් රැගෙන යෑම සියලු බලධාරීන්ගේ වගකීමක් වන බව ද සිහිපත් කළ යුතුය.

මෙම ලැබූ ජයග්‍රහණ හා තරුෂි පිළිබඳව ඇගේ මව්පියෝ ‘දිවයින’ට මෙසේ අදහස් දැක්විය.

පියා – ඩී. එම්. කරුණාරත්න තරුෂිගේ පියාය. ඔහු තම දියණියගේ දස්කම පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නේය.

“මට ලොකු විශ්වාසයක් තිබුණා මේ තරගයෙන් මගේ දියණිය ජය ගන්නා බවට. ඇගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයක්. මලල ක්‍රීඩාවෙන් අපේ රට ආසියාවේ ඉහළම තැනකට රැගෙන එන්න දුවගේ ජය හේතු වුණා. ඇයට අනපේක්ෂිත බාධා පසුගිය කාලයේ එල්ල වුණා. ඒවා ඇගේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වුණා. කොහොමත් දුව හරි ධෛර්යවන්තයි. පොඩි කාලේ ඉඳලාම අභියෝග භාර ගන්නවා. දුව කෙටි කාලයක් තුළ දී විදේශ තරගාවලි කිහිපයක්ම නියෝජනය කොට රටට ජයග්‍රහණ ලබා දීමට සමත් වූයේ එම ශක්තිය උපයෝගි කොට ගෙන. ඒ අතින් ඇය ලබා දෙන ආදර්ශය ඉතාම වැදගත්. අප සාමාන්‍ය පවුලක්. මම වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙක්. මා බොහෝ වෙහෙස වූවා තරුෂි ඇතුළු දරුවන් තිදෙනා දක්ෂ මලල ක්‍රීඩකයන් බවට පත්කරන්නට.

විශේෂයෙන් ස්තුති කළ යුතුයි දියණියගේ ප්‍රධාන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාට හා සෙසු පුහුණුකරුවන්ට. වලල ඒ. රත්නායක විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, උඩදුම්බර චූලාභය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්,

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීනටත් අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේම දියණියට ශක්තියක් වූ රජය හා පෞද්ගලික අංශයේ ආයතනවලටත්, මාධ්‍ය ආයතනවලටත් ඒ වගේම ස්තුති කරන්නට මා කැමතියි. මේ සියලු ආයතන හා ඒවායේ නිලධාරීන් මගේ දුවට මෙන්ම අසීරුතා මැද ක්‍රීඩා කරන රටේ වෙනත් දරුවන්ටත් ලබා දෙන සහය නිසාමයි අද වන විට අපේ රටේ මලල ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමෙන් පෙරට පැමිණ තිබෙන්නේ. විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ද තරුෂි දියණියට ලබා දුන්නේ විශාල සහයක්.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය තරුෂි දියණියගේ ජයග්‍රහණය පසුපස සිටින බව විශේෂයෙන් කිව යුතුයි. මගේ බාල දියණියත් දැන් මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සිටිනවා. (ගිහාරි කාවින්දි කරුණාරත්න) ඇයත් වලල ඒ. රත්නායක විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ” ඔහු කියන්නේ ආඩම්බරයෙනි.

තරුෂිගේ මව නිලුෂිකා දිල්රුක්ෂි අබේවර්ධන ද සිටින්නේ අතිශය උද්දාමයට පත්වය.

“අපි වින්ද දුකේ ප්‍රතිඵල රටට ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි. කුඩා කාලයේ සිටම මට දරුවන්ගේ දක්ෂතා පෙනුනා. බොහෝ දරුවන් ඇවිදින්නට පටන් ගන්නේ වයස අවුරුදු එකහමාරකින් පමණ. නමුත් තරුෂි මාස අටකින් ඇවිදින්නට පටන් ගත්තා. අනෙක් දරුවන් දෙදෙනාත් එසේමයි. එසේම ඔවුන් ඉතා ඉක්මනින් කතා කරන්නටත් පටන් ගත්තා. ඒ ලක්ෂණ වෙනත් අයට පිහිටන්නේ නෑ. මේ ලක්ෂණ ක්‍රීඩා දිවියටත් බලපා තිබෙනවා.

අවසන් තරගයන් රූපවාහිනියෙන් නැරඹුවේ ගැහෙන හදවතින්. මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ම තරුෂිගේ ජය ප්‍රාර්ථනා කළා. තරග අවසන් වනවිට හුස්ම හිරවෙනවා වගේ දැනුනා. මම හුස්ම ගත්තේ ඉතා අපහසුවෙන්. මම මෙතෙක් ලබපු ඉහළම සතුට මේක. මේ ලෝකයේ වඩාත්ම සතුටු වූ මවක් ඉන්නවා නම් ඒ මම වෙන්න ඇති. ඒ ගැන මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. තරුෂි ට තියෙන්නේ පුදුම සහගත් දරා ගැනීමේ හැකියාවක්. මේ පුංචි වයසට අත්වින්ද අභියෝග ජය ගන්නට ඇය සමත් වුණා.” ඇය කියන්නීය වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. ධම්මික හේරත් ද මේ ජයග්‍රහණයේ නියමුවෙකි.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස තරුෂි ලබා ගත් ජයග්‍රහණය අපට බොහෝ සෙයින් වටිනවා. ඇගේ ජයග්‍රහණයෙන් පාසලේ කීර්තිනාමය තවදුරටත් ඉහළ යන බව මා ප්‍රකාශ කරන්නේ මහත් සතුටෙන්. රටේ මලල ක්‍රීඩාවේ උන්නතිය පිණිස අප පාසල වසර ගණනාවක පටන්ම මහත් වෙහෙසක් දරනවා. ඉන් ලැබුණු ප්‍රතිඵල බොහොමයි. 21 වසරකට පසුව රට රනින් බබළවන්නට අපේ දියණියක් සමත්වීමත් සමඟම අපේ වගකීම් තවදුරටත් වැඩි වන බවත් සඳහන් කළ යුතුයි. තරුෂි දියණියගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි ද අප බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා.”

ජානක සම්පත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment