කවිය සමාජ ප්‍රගමනය පිණිස ප්‍රබල අවියක් – කිවිවර රඹුක්කන කීර්ති එස් කුමාර

109

ප්‍රතිභාපූර්ණ කවියකු හා පුවත්පත් කලාවේදියකු වන රඹුක්කන කීර්ති එස්. කුමාර විසින් රචිත කාව්‍ය සංග්‍රහ ත්‍රිත්වය වන ‘උඹට වඩා මං රතුයි’, ‘ඇඩ්‍රස් නෑ අම්මෙ අපට’ සහ ‘මිනී කපන්නාගේ දියණිය’ ලබන 29 වැනි දා අඟහරුවාදා සවස 2.30 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළි දක්වයි.

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, යමුනා මාලිනී පෙරේරා සහ චූලානන්ද සමරනායක යන ප්‍රවීණයන්ගේ අගනා ප්‍රස්ථාවනාවන්ගෙන් සමන්විත මෙම කාව්‍ය සංග්‍රහ එළිදැක්වීමේ උළෙලේ දෙසුම් පවත්වනු ලබන්නේ චූලානන්ද සමරනායක, කුමාර සිරිවර්ධන සහ අනුර බී. සෙනෙවිරත්න යන ප්‍රවීණ ලේඛකයන් විසිනි. රසික ඇමතුම ඉන්ද්‍රසිරි සුරවීර ගෙනි.

කවිය සමාජ ප්‍රගමනය පිණිස ප්‍රබල අවියක් - කිවිවර රඹුක්කන කීර්ති එස් කුමාර

කොහොමද ඔබ කවියට අත්පොත් තබන්නේ ?

මගේ මූලික පාසල රඹුක්කන අශෝක මහා විද්‍යාලය. මම කියවන්න පටන්ගත්තෙ තුන වසරේ ඉගෙනුම ලබද්දී. වැඩියෙන් ම කියෙව්වේ එස්. මහින්ද හාමුදුරුවන්ගේ, විමලරත්න කුමාරගමගේ, කේයස්ගේ කවි. මගේ මවත් කිවිදියක්. එයා ඒ දිනවල ‘දවස’ ආයතනය ප්‍රකාශයට පත්කළ ‘ශ්‍රී’ සඟරාවට කවි ලිව්වා. එහි පළවෙන කවි ඇය මට කියවන්න දුන්නා. අපේ මහගෙදරට කිව්වෙ ‘වෙලේ ගෙදර’ කියලා. ඒ ගෙය පිටුපසින් පුංචි වන ලැහැබකිනුත්, තුන් පැත්තකින් විශාල වෙල් යායකිනුත් වටවෙලයි තිබුණේ. සී සාද්දී ඇසෙන අඬහැරවල සිට නෙළුම් කවි, ගොයම් කවි නිතර ම මට අහන්න ලැබුණා. ඔය අතරේ හතර වසරේ දී ආදරණීය ගුරුවරයෙක් අපේ පාසලට ආවා. ඔහු නමින් ආචාර්ය පියසේන රතුවිතාන මහතා. අම්මා ලියූ කවි මම ඔහුට ගෙනත් පෙන්නුවා. “අම්මට පුළුවන්නම් ඇයි පුතාට බැරි. ඔයත් කවි ලියන්න” කියමින් ඔහු මා දිරිමත් කළා. ඒ තමයි මං කවියකු වීමේ සුන්දර කතාව.

දීර්ඝ නිහැඬියාවකින් පසුව කාව්‍ය සංග්‍රහ ත්‍රිත්වයක් එකවර එළිදක්වන්න ඔබ තීරණය කරන්නේ ඇයි ?

ඔව්. ඇත්තට ම ඒක ඉතා දීර්ඝ කාලයක්. මගේ පළමු කාව්‍ය සංග්‍රහය නිකුත් වුණේ 1983 වසරේ. එහි නම ‘වේදනා. ඒ වනවිට මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර බහුතාක්ෂණික ආයතනයේ. එයින් පිටපත් එක්දහස් පන්සීයක් මුද්‍රණය කළා. මට ඉතිරි වුණේ එක ම එක පිටපත යි. මම පත්‍ර කලාවේදියකු ලෙස කොළඹට ආවේ 1988 වසරේ දීය. දීර්ඝ ලිපි ලිවීම අතරතුර මා ලියූ කවි එක් රැස් කිරීම අතහැරියේ නෑ. කාලයත් එක්ක පුවත්පත් රැකියාව විවිධ මට්ටම්වලින් වෙනස් වෙමින් දියුණුවට යද්දී කිසිදු පොතපතක් එළිදැක්වීමට මට අවස්ථාවක් උදාවුණේ නැහැ. ඒ නිසා වසර හතළිහකට පසුව කවි පොත් තුනක් ම එකවර නිකුත් කිරීමේ පුදුමාකාර ආසාවක් මා තුළ මතුවුණා. මේ එහි අවසාන ප්‍රතිඵලය.

පවතින ආර්ථික, සමාජීය, වටපිටාව තුළ එය අභියෝගයක් නොවෙයි ද?

ඇත්තට ම අභියෝගයක් වුණා. ප්‍රධාන වශයෙන් ම තාක්ෂණික දියුණුවත් සමග රසික හා පාඨක මනස තුළ විශාල පරිවර්තන සිදුවූ හා සිදුවන යුගයක් මේ. පොත්පත් කියවීමට වඩා වෙනත් හරසුන් රසවින්දනයන් සොයා යෑම නිසා බහුතරයක් දෙනා පොතපතෙන් ඈත් වුණා. අපි ගතකරන තරුණ වයස අතිශයින් සොඳුරු එකක් වුවත් අද සිටින තරුණ පිරිස් ඊට බොහෝ වෙනස්. ඔවුන් බොහෝ දෙනෙක් රොබෝවරුන්. තවත් පිරිසක් නිසි වයසේ දී අධ්‍යාපනයට තම කාලය ආයෝජනය නොකළ අය. තවත් පිරිසක් හසරක් නොදැන ඉබාගාතේ යන්නන්.

මින් පෙර නොදුටු විරූ වර්තමාන ජීවන අරගලය තුළ විශේෂයෙන් ම කවි පොතක් පළ කිරීම අතිවිශාල අභියෝගයක්.

ඒ සියලු අභියෝගය පැවැතියත්, සමාජයට කිසියම් වැදගත් පණිවුඩයක් ලබාදීම සඳහා කවිය අත්නොහරින්නේය යන දැඩි තීරණයකට මම එළඹුණා.

කවිය පමණක් නොවෙයි, ඔබ චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම පුවත්පත් කලාවේදියෙක්. මේ ක්ෂේත්‍ර තුන අතරින් ඔබ වැඩි ඉඩක් වෙන් කරන්නේ කුමන ක්ෂේත්‍රයකට ද?

නිරන්තරව ම මම මගේ සිතිවිලි චිත්‍රයට නඟනවා. ඉන්පසු බොහෝවිට ඒ චිත්‍රය කවියක් බවට පත්වෙනවා. ඒ සොඳුරු සිතිවිලි ආශ්‍රිතව පුවත්පත්වල විශේෂාංග ලිපි සම්පාදනය කෙරෙනවා. චිත්‍රය, කවිය හා පුවත්පත් ලිපි මට මගේ දරුවෝ වගේ. ඉතින් කොහොම ද මම ඒ දරුවෝ තුන්දෙනා ගැන තියෙන ආදරය අඩු වැඩි වශයෙන් වෙන්කර කතා කරන්නේ?

චිත්‍රය හා කවිය එකසේ ප්‍රගුණ කළ නිර්මාණකරුවකු ලෙස කවිය හා චිත්‍රය පිළිබඳව ඔබේ නිර්වචනය කුමක් ද?

චිත්‍රය ඉතා ප්‍රබල යි. එහි හැම සියුම් රේඛාවකින් ම ඉතා සියුම් හැඟීම් දනවන්න පුළුවන්. ඇස්වලින් මනසට එකතු වන චිත්‍රය මා දකින්නේ එලෙසයි. කළු සුදු චිත්‍රවල සහ වර්ණ චිත්‍රවල රස එකිනෙකට වෙනස්. මා අඳින රේඛා චිත්‍ර මට ම ආවේණික යි. මා දකින හීනයක් පවා මතක තිබුණොත් මම සිතුවම් කරනවා. මනඃකල්පිත බොහෝ දේත් මගේ සිතුවම්වල රූ රටා බවට පත්වෙනවා. චිත්‍රයක් නිමා කිරීමේ සීමාවක් තියනවා කියලා මම හිතනවා. කවිය හදවතින් මනසට නිකුත් කරන පණිවුඩයක් ලෙසයි මා දකින්නේ. කවියේ සීමාවන් බොහෝ පුළුල්, චිත්‍රයක් වෙනස් කරනවා නම් නැවත එය මුලසිට ඇඳිය යුතු යි. නමුත් කවියක් වෙනස් කිරීමට ඊට වඩා බොහෝ ඉඩප්‍රස්ථා තියනවා.

ඒ ක්ෂේත්‍ර දෙක අතරින් වඩාත් ප්‍රබල එසේ නැතිනම් පාඨක විචාරක ප්‍රජාව වැඩි වශයෙන් ගැවසෙන ක්ෂෙත්‍රය කුමක් ද?

කවිය වගේ ම චිත්‍රය අගය කරන පිරිස ද බහුල යි. ඔවුන් මගේ සිතුවම්වලට දැඩි සේ ප්‍රිය කළත් වඩාත් විචාරයට ලක් කරන්නේ මගේ කවියයි. චිත්‍රයෙන් සඟවා හෙළි කරන දේ ඊට වඩා කවියෙන් පැහැදිලි ලෙස හෙළි කිරීම ඊට පැහැදිලි හේතුව විය හැකි යි. කොහොම වුණත් කවිය බහුලව විචාරයට ලක් වෙනවා. විචාරකයන්ට නොතේරුණාට මේ තත්ත්වය මගේ චිත්‍ර කලාවේ ප්‍රගමනයටත් බරපතළ සහයෝගයක්. හේතුව චිත්‍ර මාධ්‍ය සඳහාත් පැහැදිලි විචාරයක් අයිති කරගන්න මම බොහොම කැමති ය.

කවිය මොහොතකට අමතක කර කවිය පිළිබඳ විචාර කලාව ගැන කතා කරනවානම් ඒ පිළිබඳ ඔබේ අදහස මොන වගේ ද?

එදාට වඩා අද ප්‍රගතිශීලී විචාරකයන් අඩු යි. කවියට පමණක් නොවෙයි සිනමාව, ගීතය, කෙටිකතාව, නවකතාව හා නට්‍ය පිළිබඳ සුදුසු විචාරයක් අද නැති තරම්. සමහර විට විචාරය කිරීමට තරම් ගුණාත්මක නිර්මාණ බිහිවීම සෙමෙන් හා අඩුවෙන් සිදුවීම මීට හේතු විය හැකි යි. කවිය පිළිබඳව විචාර කලාවක් තිබිය යුතු ම යි. වර්තමානයේ ඉතා ම දක්ෂ කවීන් බිහිවෙමින් සිටිනවා.

පොදුවේ ගත් කල කවියේ අනාගත මුහුණුවර මොන වගේ හැඩයකින් යුක්ත විය යුතු ද ?

නවකතාවකට කෙටි කතාවකට වඩා කවියට සමාජය විනිවිද දැකීම සඳහා කඩිනම් මෙහෙයක් සිදුකළ හැකි යි. වචන කීපයකින් නිර්මාණය වන ප්‍රබල කවියක් ඉක්මනින් ජනගත වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. රාජ්‍ය විරෝධී දේශපාලන මතිමතාන්තර, සමාජ විෂමතා, මානව ක්‍රියාකාරිත්වයේ අඳුරු පැතිකඩ කවිය තුළින් ඉතා ම ප්‍රබලව ඉදිරිපත් කළ හැකි බව මගේ විශ්වාසය යි. ‘කවිය, කවිය සඳහා ය’ යන මතයට අනුව කටයුතු කරනවාට වඩා කවිය සමාජ ප්‍රගමනය සඳහා ප්‍රබල අවියක් ලෙස යොදා ගන්නවා නම්, දේශයේ පැවැත්ම හා ඉදිරි ගමන සඳහා මහඟු සේවයක් ඉන් සිදුවන බව සහතික යි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment