විදුලි බිල වැඩිකළ වහාම විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 74ක් සමග පාරට බහිනවා – රන්ජන් ජයලාල්

130

විදුලි ගාස්තු ඉහළ දැමීමට කොමිසම අවසර දෙන්නෙ කොයි මොහොතකද එතැන් සිට ලක්‍ෂ හැත්තෑ හතරක් වන විදුලි පාරිභෝගිකයන් සමග විදුලිබල මණ්ඩල සේවකයන් පාරට බසින බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ‘දිවයින’ට පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාවට පෙරේදා (09 දා) කැබිනට් මණ්ඩල අනුමැතිය පළවී තිබෙන බවට වාර්තා වී ඇති බැවින් ඊට එරෙහිව අද (11 දා) දහවල් 12.00 ට කොළඹ කොටුව ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවද ජයලාල් මහතා කීය.

මේ මොහොතේ රටේ සමස්ත ජනතාවම දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින බවත් මාස පහක් තුළ දෙවන වතාවටත් විදුලි ගාස්තු වැඩිකළ හොත් ජනතාවට වේලක් හැර වේලක් කා හෝ ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි බන බවත් ඒ මහතා පැවසීය.

මෙම විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා ඇතැම් විදුලි පාරිභෝගික කාණ්ඩවල ගාස්තු සියයට සියයත්, සියයට තුන්සීයත් අතර ගණනකින් ඉහළ යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය පරාජය කිරීම විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණක් කළ නොහැකි නිසා දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන හා සමස්ත විදුලි පාරිභෝගිකයන් පාරට පැමිණ මෙය පරාජයට පත්කළ යුතු බවද ජයලාල් මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment