මළවුන්ගේ දිනය නැසීගිය ජනතාවට විශේෂ වූ දවසක් – දළුගම මීසම් පාලක වික්ටර් ප්ලොරන්ස් ජයමාන්න පියතුමා

68

මළවුන්ගේ දිනය නැසීගිය විශ්වාසික ජනතාවට විශේෂ වූ දිනයකි. ඒ නිසා සුසාන භූමිය ද ශුද්ධ වූ ස්ථානයක් බැව් කිතුනු ජනයාගේ සේම කතෝලික සභාවේ ද විශ්වාසය හේතුවෙන් මෙය සුපිරිසිදුව හා අලංකාරව තබාගැනීම සැමගේම යුතුකමක් හා වගකීමක් බැව් දළුගම මීසම් පාලක වික්ටර් ප්ලොරන්ස් ජයමාන්න පියතුමා පවසයි.

එතුමා එසේ පවසා සිටියේ හෙට දින (2 දා) සිහිපත් කෙරෙන මියගිය ආත්මයන්ගේ දිනය හෙවත් මළවුන්ගේ දිනය වෙනුවෙන් දිවයින දෙව්මැඳුරට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන පියතුමා ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.

විදේශ රටවල සුසාන භූමි මේ වන විට අලංකෘත වූ මල්වතු සේය. අප රටේ ද දැන් මේ තත්ත්වය හේතුවෙන් කිතුනු සුසාන භූමි දෑස් පිනවන තත්ත්වයට පත්ව ඇත. එය මියගිය ආත්මයනට දක්වන සැලකිල්ලක් සේම කෘතගුණයක් ද වේ. අප දළුගම කිතුනු සුසාන භූමිය ද මේ වන විට අලංකෘතව දිස්වන ස්ථානයක් බවට පත්ව ඇත.

සාන්ත සභාව මේ දිනය වෙන්කර ඇත්තේ නැසීගිය අය විශ්වාසයකින් සිහිපත් කිරීම උදෙසාය. එදිනට සියලු කිතුනු බැතිමතුන් දිවයිනේ සෑම කිතුනු සිද්ධස්ථානයකටම පැමිණ යාග, පූජා පවත්වමින් බලාපොරොත්තු වනුය් තම මියගිය ඥාතීන් ශුද්ධිගිනි ස්ථානයේ සිට ස්වර්ග රාජ්‍යයට ඔසවා තැබීමය.

මේ ආත්මයන්ට දෙවියන් වහන්සේ වෙතට යෑමට උදව් කළ හැක්කේ ජීවිත්වන අයට පමණි. මියගිය ආත්මයනට එසේ කළ නොහැක. මේ අයව මෝක්‍ෂ රාජ්‍යයට ඔසවා තැබිය හැක්කේ කිතුනු අපට පමණි.

ඒ සඳහා දිව්‍ය පූජා, යාග ඔප්පු කිරීම සේම දාන ධර්ම ද දිය යුතුය. දිළිඳු අය වෙනුවෙන් උදව් උපකාර කළ යුතුය.

සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභය අනුව මේ නැසීගිය ආත්මයන් ස්වර්ග රාජ්‍යයට ගොස් දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත්වන අප වෙනුවෙන් ද යාච්ඤා කරති. ඒ අය පත්වන ශුද්ධවන්ත ජීවිතයේදී ඔවුනට සිදුකළ යාච්ඤා වෙනුවෙන් මේ අන්දමට ඔවූහු ද අපට කෘතගුණ දක්වති. සාන්තුවරයන්ගේ සමෝස ධර්ම ලාභය යනු එම ක්‍රියාවය. එය ජයලත් සභාව යනුවෙන් ද නම්කර ඇත.

ජීවත්වන අප නපුර ජය ගන්නට සුවිශේෂී සටනක නියැළී ඇත. අපට අවශ්‍ය සභාවට අවශ්‍ය යහපත් ජීවිතයක් කරා යෑමටය.

නැසීගිය ආත්මයනට සිදුකළ හැකි වැදගත්ම දෙය නම් දිව්‍ය පූජාව ඔප්පු කිරීමය. අපගේ ප්‍රධාන යාච්ඥාව දිව්‍ය පූජාවය.

මියගිය අයට සදාකාලික ජීවිතයක් ලැබ දීමට ඇති හොඳම මාර්ගය ද දිව්‍ය පූජාවය. අනතුරුව සුසාන භූමිය කරා ගොස් මියගිය ආත්මයනට යාච්ඥා කර ඉටිපහන් දල්වා ඔවුන් වෙනුවෙන් යැදීම කිතුනුවන් විසින් සිදුකරනු ලබයි. මේ සඳහා ඇතැම් අයට මේ ස්ථාන කරා යෑමට යම්කිසි අපහසුතාවක් තිබේනම් තමන් සිටින ස්ථානයේ සිටම ඒ අය වෙනුවෙන් යාච්ඥා කළ යුතුය. මේ වෙනුවෙන් විශේෂ දවසක් ශුද්ධ වූ සභාව වෙන්කර ඇත්තේ යාච්ඥාව සඳහාමය. නොවැ. 1 දා සියලු සාන්තුවරයන්ගේ මංගල්‍ය දිනය ය. එදින මේ අය ස්වර්ග රාජ්‍යයට එසැවුණ දිනය ය. නොවැ. 2 වන දින අපගේ බලාපොරොත්තුව, මියගිය අපගේ ඥාතීන් ස්වර්ගයට ඔසවා ගැනීමය. මියගිය ආත්මයන් උදෙසා යාච්ඥා කළ හැක්කේ ජීවත් වන අපට පමණි. සුසාන භූමිය ශූද්ධ වූ ස්ථානයකි. එය අප විසින් රැකගත යුතුමය. ඇතැම්හු මේ ස්ථානයට යෑමට බියක් දක්වති. කිතුනු අප බියවිය යුතු අය නොවේ. මේ ශුද්ධ වූ ස්ථානය දෙස ස්වාමීන් වහන්සේ ද බලා සිටී. මෙය අලංකාරව තබා ගත යුත්තේ ඒ නිසාය.

අප දළුගම මීසම සෑම පොහෝ දිනකම උදෑසන දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ සුසාන භූමියේය. එය දැන් බොහෝ දෙව් මැඳුරුවල සිදුවෙමින් පවතී. සුසාන භූමිය වල්බිහි විය යුතු ස්ථානයක් නොවේ. මේ නිසා අප දළුගම සුසාන භූමියේ ආරක්‍ෂක කැමරා පද්ධතියක් ද සවිකර ඇත. දළුගම මීසම් ජනතාව ද ඒ වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කරති.

සටහන හා ඡායාරූපය –
ලයනල් පී. පෙරේරා

මළවුන්ගේ දිනය නැසීගිය ජනතාවට විශේෂ වූ දවසක් - දළුගම මීසම් පාලක වික්ටර් ප්ලොරන්ස් ජයමාන්න පියතුමා
advertistmentadvertistment
advertistmentadvertistment