ජන හද දිනූ සුදු මහත්මයා

2558

1983 ලංකාවට පැමිණි ඒ මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීමක් අනුව, BCIS හි අධ්‍යක්ෂ තනතුර භාර ගත්තේය.

ඔරලෝසුවේ හැම තත්පරයක්ම එතුමා තිතට කළමනාකරණය කළේය. එතුමා සමග වැඩ කිරීම ලේසි පහසු නොවීය.

2005 වර්ෂයේ ශ්‍රී ලංකා රජය ඒතුමාට දේශබන්දු සම්මානය පිරිනැමීය.

1997 වර්ෂයේ BCIS විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පෝබ්ස් මහතා පදිංචිය සඳහා අනුරාධපුරය තෝරා ගත්තේය.

මෙම සටහන 2024 ජනවාරි 27 මෙලොවින් සමුගත්, අපූරු සුන්දර, උතුම් මිනිසෙක් වු රේ පෝබ්ස් (Ray Forbes) මහතා වෙනුවෙනි. මෙය මෙතෙක් පමා වූයේ එතුමාගේ වියෝව පිළිබඳ යථාර්ථය ට මුහුණදීම අසීරු කාර්යයක් වූ හෙයිනි.

රේ පෝබ්ස් මහතා මට හමු වූයේ 1986 වසරේ මා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (BCIS) සහාය අධ්‍යක්ෂ ලෙස සේවය ආරම්භ කළ දාය. එදාසිට ඒතුමාගෙන් මා ඉගෙන ගත් දේ බොහෝය.

කොළඹ කොල්ලුපිටියේ, කීර්තිමත් රෝමානු කතෝලික බර්ගර් පවුලක උපන් පෝබ්ස් මහතා, ශාන්ත පීටර් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේය. බටහිර සම්භාව්‍ය සංගීතයට බෙහෙවින් ඇළුම් කළ එතුමා දක්ෂ පියානෝ වාදකයෙක්ද, ගායකයෙක්ද විය.

වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවය තෝරාගත් පෝබ්ස් මහතා. සෝවියට් දේශය, (දැන් රුසියාව) යුගෝස්ලාවියාව හා ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස සේවය කළේය. 1980 රාජ්‍ය තාන්ත්‍රික සේවයෙන් ඉල්ලා අස්වන විට එතුමා නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා විය. සේවයේ දිගටම රැඳීසිට විශ්‍රාම වැටුපක් ලබා ආර්ථික සුරක්ෂිත බව තහවුරු කරගන්නවාට වඩා, වෘත්තීමය ගරුත්වය හා ස්වයං අභිමානය වෙනුවෙන් පෝබ්ස් මහතා මෙම තීරණය ගත්තේය.

ඉන්පසු පෝබ්ස් මහතා, තෙරේසා මව්තුමිය කල්කටාවේ දුගීන් හා ලාදුරු රෝගීන් වෙනුවෙන් කරගෙන ගිය මානුෂීය වැඩ පිළිවෙල සමග එකතු විය. කල්කටා නගරයේ වීදි අයිනේ ජීවමාන ඇටසැකිලි පෝබ්ස් මහතා තුළ ඇතිකළේ මහත් කම්පනයකි. බාගෙට මියැදෙමින් සිටි දුගීන්ගේ හා ලාදුරු රෝගීන්ගේ රළු හැසීරීම් නිසා කෝප නොවුවත්, ඔවුන්ගේ දුක තවදුරටත් දරාගත නොහැකිව පෝබ්ස් මහතා කල්කටාවෙන් ඉවත් විය.

1983 ලංකාවට පැමිණි ඒ මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීමක් අනුව, BCIS හි අධ්‍යක්ෂ තනතුර භාර ගත්තේය. ඇත්තෙන්ම, BCIS ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනඟා දියූණු කිරීමට රේ පෝබ්ස් මහතා කළ කැපවීම විශිෂ්ටය. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, දෙමළ භාෂාව ආදි පාඨමාලා ඉතා ඉහළ ප්‍රමිතියකින් නියමිත කාලයට පවත්වන ලදී. දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් විසින් සෑම ගුරු දිනකම පවත්වන ලද ආරාධිත දේශන මාලාව ජාත්‍යන්තර සබඳතා ගැන සංවාදයට, BCIS විසින් ලාංකිකයන්ට තිළිණ කරන ලද විරල වේදිකාවක් විය. BCIS පූස්තකාලය නව ප්‍රකාශන එකතු කරමින් ක්‍රමාණුකූලව යාවත්කාලීන කරන ලදී. පෝබ්ස් මහතාට, BCIS එතුමාගේ ජිවිතය විය. එතුමාට සහායට සිටියේ අප කීප දෙනෙකුගෙන් සමන්විත කුඩා කාර්ය මණ්ඩලයකි. කෙසේ වුවත්, BCIS අපගේ ද ජීවිතය බවට පත් කිරීමට පෝබ්ස් මහතාට හැකිවිය. ඔරලෝසුවේ හැම තත්පරයක්ම එතුමා තිතට කළමනාකරණය කළේය.

එතුමා සමග වැඩ කිරීම ලේසි පහසු නොවීය. නිලධාරිවාදයක් පෝබ්ස් මහතා තුළ නොවූ නිසාත්, අප හැම දෙනාගේ පොදු කැපවීමත්, ඒ සියල්ලටම වඩා පෝබ්ස් මහතාට අපගේ ආදරය හා ගෞරවයත් ආ නිසා අපට ආතතිය පරාජය කළ හැකිවිය. පෝබ්ස් මහතාට ගැටළු විසඳීමේ සුවිශේෂ හැකියාවක් තිබුණි. කිසිවෙකුත් ගැන විනිශ්චයක් නොදුන් එතුමා කිසිවෙකු ගැන සෘන ප්‍රකාශද නොකළේය. රජය ඇතුළු විවිධ ආයතනවල, සංවිධානවල විවිධ රැකියා කළත්, මා සතුටෙන්ම සිටියේ BCIS හිය.

එතුමාගේ නිහතමානිකම, සංයමය, වෘත්තීමය ආචාරශීලි බව, මිනිසුන්ට, විශේෂයෙන් දුප්පතුන්ට අසරණයන්ට දැක්වූ කරුණාව හා ආදරය, ත්‍යගවන්ත බව පෝබ්ස් මහතා ඇසුරු කළ හැම කෙනෙක්ගේම හදවත්වලට ගැඹුරින් දැනුණි. කාර්යාල කාමරයේ අපද්‍රව්‍ය කූඩය අස්කර නැත්නම් පෝබ්ස් මහතාම එය පහළට ගෙන ගියේය. ලියුම් තැපැල් කිරීම හදිසි වූ විට, එතුමා ගිනි අව්වේ වුවත් බයිසිකලය පැදගෙන ගොස් ලියුම් තැපැල් කළේය.

වැඩසටහන් අවසානයේ කෙටි කෑම ඉතිරි වුවහොත් ඒවා රැගෙන ගොස් කොළඹ අක්ෂි රෝහල අවට වීදි ජනයාට දුන්නේය. වැටුප් ලබාගත් විට, මුදල් නෝට්ටු කීපයක් තෝරා, ලියුම් කවරවල දමා, කොළඹ නගරයේ වීදිවල දුප්පතුන්ට ගෙන ගොස් දුන්නේය. කාර්ය මණ්ඩලයේ අප කිසිවකුගේ සුළු අසනීප ගතියක් දැක්කොත්, අපගේ මේස මත පැනඩෝල් හා වතුර වීදුරුවක් තබා ඇත. සමහර දිනවල අපගේ කෑම පෙට්ටි ළඟ සලාද දීසියක් විය පෝබ්ස් මහතා, BCIS අධ්‍යක්ෂ ලෙස ජාත්‍යන්තර සබඳතා විෂය ගැන ශ්‍රී ලාංකිකයන්ගේ නිම්වළලු පුළුල් කිරීමට දැක්වූ කැප කිරීමට උපහාරයක් ලෙස 2005 වර්ෂයේ ශ්‍රී ලංකා රජය ඒතුමාට, දේශබන්දු සම්මානය පිරිනැමීය. 2017 මාර්තු මස චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් BCIS වෙනුවෙන් පෝබ්ස් මහතාට, ජීවමාන ජයග්‍රහණ, සම්මානය (Lifetime Achievement Award ) පිරිනමන ලදී.

1997 වර්ෂයේ BCIS විශ්‍රාම ගැනීමෙන් අනතූරුව පෝබ්ස් මහතා පදිංචිය සඳහා අනුරාධපුරය තෝරා ගත්තේය. මිත්‍රයෙක් වූ ද මැල් මහතාගේ නිවසට යාකර සදාගත් ඇනෙක්සිය ඒතුමාගේ නිවහන විය. අවුරුද්දකට වරක් පෝබ්ස් මහතා දැක ගැනීමට මා අනුරාධපුරයට ගියත් 2020 වර්ෂයේ මට සිදූ වු හදිසි අනතුරකින් පසු එසේ යා නොහැකි විය. එහෙත් සති දෙකකට වරක් දුරකථනය මගින් කතා කළෙමු. මෙම දුරකථන ඇමතුම්වලදී, අප රටේ උද්ගත වී ඇති දේශපාලන ආර්ථික සමාජ අර්බුදය ගැන පෝබ්ස් මහතා හැඟීම්බරව කතා කළේය. පුළුල් සමාජ වෙනසක් එතුමාගේ ප්‍රාර්ථනය විය.

ඒ හැර එතුමා මෙන්ම මාද ප්‍රිය කළ බටහිර සම්භාව්‍ය සංගීතය ගැන මා නොදත් බොහෝ දේ පිළිබඳව ඒතුමා මාව දැනුවත් කළේය. බෞද්ධ දර්ශනය හා කතෝලික ධර්මය අතර ඇති සමාන අසමානකම් ගැනද මම පෝබ්ස් මහතාගෙන් ඉගෙත ගතිමි. අජාන් බ්‍රහ්මවම්සෝ මහ තෙරුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය පිළිබඳ අදහස් තදින්ම පෝබ්ස් මහතාගේ සිත් ගත්තේය. ඒ පොත් සමහර ඒවා තැපැල් මගින් මා වෙත ඒවීමටද ඒතූමා අමතක කළේ නැත. 2023 අවසන් වීමට ආසන්නයේ එක් දිනක මට කතා කර තමා අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ලැයිස්තු ගතකර ඇති බව පෝබ්ස් මහතා සඳහන් කළේය. එය කෙසේවත් තමාගේ ඉල්ලීමක් නොවූ බවත් එතුමාගේ තත්ත්වය තේරුම් ගත් එතුමා හොඳින් දන්නා කෙනෙක් ගත් තීරණයක් බවත් ඒතුමා පැහැදිලි කළේය.

දීමනාව ඉතා සුළු මුදලකි. කෙසේ වුවත් මේ සිදුවිම මට මහත් වේදනාවක් ගෙන දුනි.

අස්වැසුම ලබා ගත් පසු, ඒ සඳහා පෝලිම ඉතා දිග වූ බවත්, සිටි සියල්ලෝම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවත් එතුමා මට පැවසීය. අප අතර සිටින, වටිනා ශ්‍රේෂ්ඨ මිනිසුන්ට මෙවැනි ඉරණමක් ලබා දෙන සමාජයක, මගේ වගකීම කුමක්ද යන්න ගැන, මගේ හෘදය සාක්ෂිය අසන ප්‍රශ්නයට මා පිළිතුරු දිය යුතුව ඇත.

කිසිවකුට කරදරයක්, බරක් නොවී ජීවත් වීම සිය භාවිතාව කරගත් පෝබ්ස් මහතා තම වුවමනාවන් සඳහා බයිසිකලය පැදගෙන අනුරාධපුර නගරයට ගියේය. ඒ අතරමගදී හමුවූ හැම දෙනෙක් ම වාගේ එතුමාගේ මිතුරු මිතුරියන් වූහ.

ගමේ අය එතුමා හැඳින් වූයේ සුදු මහත්තයා යනුවෙනි. මැල් පවුලේ අයට, එතුමා, සුදු අන්කල්, සුදූ සීයා විය. බිරිඳක්, දරුවන් නැති වුවත්, කිසිම නෑයෙක් ලංකාවේ නොසිටියත්, මැල් පවුලේ අය තනි නොතනියට සිටිමින්, අවශ්‍ය අවස්ථාවලදී පෝබ්ස් මහතාව රැක බලා ගත්තේය. මෙම මැල්-පෝබ්ස් සබඳකම, ලාංකික සමාජයේ තවමත් නොනැසී පවතින මානව දයාව, ලෙන්ගතුකම හා ආදරය පිළිබඳ උත්කෘෂ්ට ප්‍රකාශනයකි. අවුරුදු 27 ක් තිස්සේ පෝබ්ස් මහතා ළඟ සිටිමින්, එතුමාගේ සමීපතම විශ්වාසවන්තයන්, මිතුරන් වූ මැල් පවුලේ සියලුදෙනාට අපගේ ගෞරවය හා කෘතඥතාව පුද කරමි.

ජනවාරි 29දා පෝබ්ස් මහතාට අවසන් ගෞරව දැක්වීමට අනුරාධපුර පෙදෙසේ බොහෝ දෙනෙක් මැල් නිවසට පැමිණ සිටියහ. ලාකික සමාජය හඳුනා ගැනීමටත්.

ඒ සමග ඒකාත්මික වීමටත් පෝබ්ස් මහතා තුළ වූ අපූරු හැකියාව එදින ඔවුන් මා සමග කියූ දේ තුලින් පැහැදිලි වේ. නත්තල් දවසට ගමේ හිතවතුන්ට ආරාධනය කර, ඔවුන් වෙනුවෙන් පියානෝ වාදනය කර, ගීත ගයා සංග්‍රහයක්ද කර, ඔවුන්ට තෑගි දීම පෝබ්ස් මහතාගේ සිරිතක් විය. ළමුන් බොහෝ දෙනෙකුට පෝබ්ස් මහතා නොමිලේ ඉංග්‍රිසි ඉගැන්වීය. තම පුතාට, කැලණි සරසවියට ඇතුල්වීමට හැකිවූයේ පෝබ්ස් මහතාගේ ඉගැන්වීම නිසා බව එක් මවක් සඳහන් කළාය.

පෝබ්ස් මහතාට ජනවාරි මැද හරියේ දිනක මා කතා කර සුවදුක් විමසූවිට එතුමා කීවේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳ බවයි. ඊන් පසු අවසන් වරට මා කතා කළේ නාද්‍යා පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද Minarets – Sound Arts of Sri Lanka Muslims නමැති වාර්තා චිත්‍රපටිය ගැන එතුමාට දැන්වීමටයි. අන්තර්ජාලයෙන් එය බැලීමට, Link ඒක ඒවන්නැයි පෝබ්ස් මහතා කීවේය. මම ඒය යැවීමි. Minarets බලා එතුමා මා අමතන බව දන්නා නිසා මම ඒ ඇමතුම බලාපොරොත්තුවෙන් සිටියෙමි.

එහෙත් ඒ වෙනුවට, ජනවාරි 27 රාත්‍රී 10ට පමණ පෝබ්ස් මහතා මියගිය බව දන්වා මැල් පවුලෙන් මට වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණි. මුදල්, බලය, තනතුරු හා ප්‍රසිද්ධියට වහල් නොවී, ඒවාට හාත්පසින්ම පටහැනි ලෝක දෘෂ්ඨියක් භාවිතාවෙන් ප්‍රකාශ කළ රේ පෝබ්ස් මහතාට උපහාරයක් ලෙස මා ලියූ ලිපිය මෙතෙකින් නිම කරමි.

  • රෝහිණී වීරසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment